12. සුජාත බුද්ධවංශය
1. එ මැ මණ්ඩ නම් කල්පයෙහි සිංහයකුට බඳු පරිපූර්‍ණ හනු ඇති වෘෂභයකුට බඳු සම වට කඳට ඇති ප්‍රමාණ නො කටහැකි වූ නො ගැටිය හැකි වූ සුජාත නම් ලෝකනායකයන් වහන්සේ පහළ වූහ.
2. විගත මල ඇති එහෙයින් මැ ශුද්ධ වූ චන්‍ද්‍රයා යම් සේ ද ප්‍රතාපවත් සූර්‍ය්‍යයා යම් සේ ද, එසෙයින් මැ හැම කල්හි සිරියෙන් බබළන සම්බුදුහු බබළති.
3. සම්බුදුහු උතුම් වූ පරිපූර්‍ණ සම්බෝධියට පැමිණ සුමඞ්ගල නම් නගරයෙහි දී දම්සක් පැවැත් වූහ.
4. සුජාත නම් ලෝකනායකයන් වහන්සේ උතුම් වූ දහම් දෙසන කල්හි ප්‍රථම ධර්‍මදේශනායෙහි අසූ කෙළක් ප්‍රාණීහු ධර්‍මභාවබෝධය කළහ.
5. යම් කලෙකැ අප්‍රමාණ යසස් ඇති සුජාත නම් සම්බුදුහු දෙව්ලොවැ වස් එළැඹි සේක් ද, එකල්හි සත්තිස් දහසක් සත්නට ද්විතීය ධර්‍මාභිසමය වී.
6. යම් කලෙකැ අසමසම වූ සුජාත නම් බුදුහු පියරජහු සමීපයට වැඩිසේක් ද, එකල්හි සැටලක්‍ෂයක් ප්‍රාණීන්ට තුන් වැනි ධර්‍මාවබෝධය වී.
7. මහර්ෂි වූ සුජාත සර්‍වඥයන් වහන්සේට විගතරාගාදිමල ඇති සන්හුන් සිත් ඇති තාදීගුණ ඇති රහතුන් ගේ සන්නිපාත තුනෙක් වී.
8. අභිඥාබලයට පැමිණි කුදු මහත් භවයට නො පැමිණියවුන් අතුරින් ඒ සැටලක්‍ෂයක් රහත්හු පළමු වැ රැස් වූහ.
9. යළි පස්මරුන් දිනූ බුදුන් ගේ දෙව්ලොවින් බස්නා සන්නිපාතයෙහි පනස් ලක්‍ෂයක් රහතුන් ගේ ද්විතීය සමාගමය වී.
10. ඒ සුජාත නම් බුදුනට යම් අගසවු කෙනෙක් වූවාහු ද, සුදර්‍ශන නම් වූ උන් වහන්සේ නරශ්‍රේෂ්ඨ බුදුන් කරා පැමිණෙන්නාහු සාර ලක්‍ෂයක් පිරිවර හා සමග පැමිණියාහ.
11. එසමයෙහි මම් කොදිව් සහිත සතර දිවයිනෙහි අධිපති වූ අහස්හි හැසිරෙන මහබල ඇති සක්විති රජ වීමි.
12. ඒ මම් ලෝකයෙහි අද්භූත වූ ලොමුදහගන්වන ආශ්චර්‍ය්‍යය දැක සුජාත ලෝකනායකයන් වහන්සේ කරා එළැඹ වැන්දෙමි.
13. සිව්මහදිවයින්හි මහරජය උතුම් වූ සත් රුවන බුදුන් විෂයයෙහි පුදා උන් වහන්සේ වෙත පැවිදි වීමි.
14. ආරාමික වූ දනව්වැස්සෝ කරවූවර පුඬු කොට බික්සඟනට චීවරාදි ප්‍රත්‍යය හා සෙනසුන් එළවත්.
15. දස දහසක් සක්වළට ඉසුරු වූ ඒ සුජාත බුදුහු දු ‘මේ තෙම මෙයින් තිස්දහස් වන කප්හි බුදු වන්නේ ය’යි මට විවරණ දුන් සේක.
16. එකල්හි තථාගතයෝ රම්‍ය වූ කපිල නම් පුරයෙන් නික්ම ප්‍රධන්වීර්‍ය්‍යය වඩා දුෂ්කරක්‍රියා කොට–
17. තථාගතයෝ අජපල් නම් නුගරුක් මුල්හි හිඳ එහි දී කිරිපිඬු පිළිගෙන නිල්දලාහෝතෙරට එළැඹෙන්නාහ.
18. ඒ පස්මරුන් දිනූ බුදුහු නිල්දලාහෝතෙර හිඳ කිරිපිඬු වළඳා (දෙවියන්) පිළියෙළ කළ උත්තමමාර්‍ගයෙන් බෝධි මූලය වෙත එළැඹෙන්නාහ.
19. ඉක්බිති මහා යසස් ඇති අනුත්තර වූ මහසත් බෝමැඩ පැදකුණු කොට ඇසැතුරුක්මුල්හිදී බුදුවන්නේ ය.
20. මොවුන් ගේ ජනික මව් තොමෝ මායා නම් වන්නී යැ, පිය තෙම ශුද්ධෝදන නම් වන්නේ යැ, මේ තෙම ගෞතම නම් වන්නේ යි.
21. කෝලිත යැ උපතිස්ස යැ යන දෙදෙන අග්‍රශ්‍රාවක වන්නාහ, ඒ බුදුනට ආනන්‍ද නම් උපස්ථායක තෙර කෙනෙක් උපස්ථාන කරන්නාහ.
22. ඛේමා යැ උප්පලවණ්ණා යැ යන දෙදෙන අග්‍රශ්‍රාවිකා වන්නාහ, ඒ භාග්‍යවතුන් ගේ බෝධිය ඇසැතු යයි කියනු ලැබෙයි.
23. චිත්ත යැ හත්‍ථාළවක යැ යන දෙදෙන අග්‍රෝපස්ථායක වන්නාහ. උත්තරා යැ නන්‍දමාතා යැ යන දෙදෙන අග්‍රෝපස්ථායිකා වන්නාහ, යසස් ඇති ඒ ගෞතම බුදුන්ට හවුරුදු සියයෙක් ආයු වෙයි.