13. ප්‍රියදර්ශී බුද්ධවංශය
1. සුජාත නම් බුදුන්ට මෑතභාගයෙහි ස්වයම්ඟු (පරෝපදේශ රහිත වැ සියල්ල දත්තා) වූ ලෝකනායක වූ නො ගැටියහැකි වූ අසමසම වූ මහා යසස් ඇති ප්‍රියදර්ශී බුදුහු ලොව පහළ වූහ.
2. අප්‍රමාණ වූ යසස් ඇති ඒ බුදුහු ද සූර්‍ය්‍යයා සෙයින් බබළති, ඔබ සියලු මොහඳුරු නසා දම්සක් පැවැත්වූහ.
3. අතුල්‍ය වූ තේජස් ඇති උන්වහන්සේට ද අභිසමය තුනෙක් වී කෙළ ලක්‍ෂයක් සත්නට ප්‍රථමාහීසමය වී.
4. සුදර්‍ශන නම් දෙව්රජ මිථ්‍යාදෘෂ්ටිය රුචි කෙළේ යැ, බුදුහු ඔහු ගේ දෘෂ්ටිය දුරු කෙරෙමින් දහම් දෙසූහ.
5. යම් කලෙකැ අතුල වූ මහාජනසන්නිපාතයෙක් වී ද එකල්හි අනු කෙළදහසක් සත්නට දෙ වැනි ධර්‍මාභිසමය වී.
6. යම් කලෙකැ පුරුෂදම්‍යසාරථිහු ද්‍රෝණමුඛ නම් ඇත්රජ දමනය කළ සේක් ද, එකල්හි අසූ කෙළදහසක් සත්නට තුන්වැනි ධර්‍මාභිසමය වී.
7. ඒ පියදස්සී බුදුනට ශ්‍රාවක සන්නිපාත තුනෙක් වී, කෙළ ලක්‍ෂයක් ශ්‍රාවකයන්ගේ ප්‍රථම සමාගමය වී.
8. එයින් මතු අනූ කෙළක් මුනිහු එකට රැස්වූහ, තුන් වැනි සන්නිපාතයෙහි අසූ කෙළක් ශ්‍රාවකයෝ වූහ.
9. එසමයෙහි මම් වේද හදාරවනුයෙම් වේද මන්ත්‍ර ධරනුයෙම් ත්‍රිවේදයෙහි පාරයට ගිය කාශ්‍යප නම් බ්‍රාහ්මණ වීමි.
10. මම් ඒ බුදුන්ගේ දහම් අසා ප්‍රසාද දැනවීමි, කෙළලක්‍ෂයක් කහවුණුයෙන් සඞ්ඝාරාමයක් නිර්‍මාණය කෙළෙමි.
11. සතුටු වූයෙම් සංවේගයට පැමිණි සිත් ඇතියෙම් අරම උන්වහන්සේට පුදා සරණ ද පන්සිල් ද දැඩි කොට සමාදන් වීමි.
12. ඒ සම්බුදුහු දු සඟ මැද වැඩ හිඳ ‘මේ තෙම මෙයින් අටළොස් කප්සියක්හු ගේ ඇවෑමෙහි බුදුවන්නේ යැ’යි මට විවරණ දුන්සේක.
13. එකල්හි තථාගතයන් වහන්සේ රම්‍ය වූ කපිල නම් පුරයෙන් නික්ම ප්‍රධන්වීර්‍ය්‍ය වඩා දුෂ්කරක්‍රියා කොට–
14. තථාගතයෝ අජපල් නුගරුක්මුල්හි වැඩහිඳ එහි දී කිරිපිඬු පිළිගෙන නිල්දලාහෝතෙරට එළැඹෙති.
15. ඒ පස්මරුන් දිනූ බුදුහු නිල්දලාහෝතෙර දී කිරිපිඬු වළඳා (දෙවියන්) පිළියෙළ කළ මගින් බෝමුල් කරා එළැඹෙති.
16. ඉක්බිති මහා යසස් ඇති අනුත්තර වූ බුදුහු බෝමැඩ පැදකුණු කොට ඇසැතුරුක්මුල්හි බුදු වන්නාහ.
17. මොවුන්ගේ ජනිකමව් තොමෝ මායා නම් වන්නී යැ පිය තෙම ශුද්ධෝදන නම් වන්නේ යැ, මේ තෙම ගෞතම නම් වන්නේ යි.
18. ඔබට කෝලිත යැ උපතිස්ස යැ යන දෙදෙන අග්‍රශ්‍රාවක වන්නාහ, ඒ ජිතපඤ්චමාරයනට ආනන්‍ද නම් උපස්ථායක තෙර කෙනෙක් උපස්ථාන කරන්නාහ.
19. බෙමා යැ උප්පලවණ්ණා යැ යන දෙදෙන අග්‍රශ්‍රාවිකා වන්නාහ, ඒ භාග්‍යවතුන් ගේ බෝධිය ඇසැතු යයි කියනු ලැබෙයි.
20. චිත්ත යැ හත්‍ථාළවක යැ යන දෙදෙන අග්‍රෝපස්ථායක වන්නාහ, උත්තරා යැ නන්‍දමාතා යැ යන දෙදෙන අග්‍රෝපස්ථායිකා වන්නාහ, යසස් ඇති ඒ ගෞතම බුදුන්ට හවුරුදු සියයෙක් ආයු වෙයි.
21. අසම වූ මහර්ෂීන්ගේ මේ වදන් අසා ‘මේ බුද්ධ බීජාඞ්කුරයෙකැ’යි සතුටු වූ දෙව්මිනිස්සු–
22. ඔල්වරසන් පවත්වති, අපොළති, සිනහසෙත්. දසදහසක් සක්වළ සදේවක ලෝකයා බදැඳිලි වැ නමස්කාර කෙරෙයි.
23. ඉදින් මේ ලෝකනාථයන්ගේ සස්න වරදමෝ නම් අනාගත කාල යෙහි මොවුන් හමු වන්නම්හ.
24. යම්සේ මිනිස්සු ගංහෝ තරණය කරන්නාහු ප්‍රතිමුඛ තීර්‍ත්‍ථය වැරැද යට තොටැහි ගෙන මහගඟ තරණය කෙරෙද් ද.
25. එසෙයින් මැ ඇපි සියල්ලමෝ ඉදින් මේ බුදුන් හරමෝ නම් අනාගතකාලයෙහි මොවුන් හමු වන්නම්හ.