14. අර්‍ත්‍ථදර්ශී බුද්ධවංශය
1. එ මැ මණ්ඩ නම් කල්පයෙහි නරශ්‍රේෂ්ඨ වූ අර්‍ත්‍ථදර්ශී නම් බුදුහු මහත් වූ මෝහාන්‍ධකාරය නසා උතුම් සම්බෝධියට පැමිණියාහු.
2. මහබඹහු විසින් අයදනාලදහු දම්සක් පැවැත්වූහ. දසදහසක් සක්වළ දෙවියන් සහිත ලෝකයා අමායෙන් සැතැප්වූ සේක.
3. ඒ ලෝකනාථයන් වහන්සේ ගේ ද ධර්‍මාවබෝධත්‍රයෙක් වී. කෙළලක්‍ෂයක් සත්නට පළමු වැනි ධර්‍මාවබෝධය වී.
4. යම් කලෙකැ අර්‍ත්‍ථදර්ශී බුදුහු දෙව්ලොවැ චාරිකා කළසේක් ද, එකල්හි කෙළලක්‍ෂයක් සත්නට දෙවැනි ධර්‍මාවබෝධය වී.
5. යළි යම් කලෙකැ බුදුහු පියරජ සමීපයෙහි දහම් දෙසූසේක් ද, එකල්හි කෙළලක්‍ෂයක් සත්නට තුන්වැනි ධර්‍මාභිසමය විය.
6. මහර්ෂී වූ ඒ අර්‍ත්‍ථදර්ශී බුදුන්ට ද විගත රාගාදිමල ඇති සන්හුන් සිත් ඇති තාදිගුණ ඇති රහතුන්ගේ සන්නිපාත තුනෙක් වී,
7. අටානූදහසක් රහතුන්ගේ ප්‍රථම සමාගමය වී, අටාසූදහසක් ශ්‍රාවකයන්ගේ ද්විතීයසමාගමය වී.
8. අනුපාදාවිමුක්තියෙන් කෙලෙසුන් කෙරෙන් මුත් පහවූ රාගාදි මල ඇති මහර්ෂි වූ අට සැත්තෑදහසක් ශ්‍රාවකයන්ගේ තුන් වැනි සමාගමය වී.
9. එසමයෙහි මම් උග්‍ර වූ තපස් ඇති පෘථිවියෙහි ශ්‍රේෂ්ඨ යයි සම්මත වූ නමින් සුසීම නම් වූ ජටිලයෙක් වීමී.
10. පරසතු මදාරා දිවකුසුම් දෙව්ලොවින් ගෙනවුත් සම්බුදුන් පිදීමි.
11. මහාමුනි වූ ඒ අර්‍ත්‍ථදර්ශී නම් බුදුහු ද ‘මේ තෙම මෙයින් අටළොස්සියක් වන කප්හි බුදු වන්නේ යැ’යි මට විවරණ දුන්සේක.
12. එකල්හි තථාගතයෝ රම්‍ය වූ කපිල නම් පුරයෙන් නික්ම ප්‍රධන් වීර්‍ය්‍ය වඩා දුෂ්කරක්‍රියා කොට–
13. තථාගතයෝ අජපාල නම් නුගරුක්මුල්හි හිඳ එහි දී කිරිපිඬු පිළිගෙන නිල්දලාහෝතෙරට එළැඹෙන්නාහ.
14. පස්මරුන් දිනූ ඒ බුදුහු නිල්දලාහෝතෙර වැඩහිඳ කිරිපිඬු වළඳා (දෙවියන්) පිළියෙළ කළ මඟින් බෝමුල වෙත එළැඹෙන්නාහ.
15. ඉක්බිති මහායසස් ඇති අනුත්තර වූ මහසත් බෝමැඩ පැදකුණු කොට ඇසතුරුක්මුල්හි බුදු වන්නේ යි.
16. මොවුන්ගේ ජනික මව මායා නම් වන්නී යැ, පිය තෙම ශුද්ධෝදන නම් වන්නේ යැ, මේ තෙම ගෞතම නම් වන්නේ යි.
17. ඔබට කෝලිත යැ උපතිස්ස යැ යන දෙදෙන අගසවු වන්නාහ. ආනන්‍ද නම් උපස්ථායක තෙර කෙනෙක් ඒ ජිතපඤ්චමාර බුදුනට උපස්ථාන කරන්නාහ.
18. ඛේමා යැ උප්පලවණ්ණායැ යන දෙදෙන අග්‍රශ්‍රාවිකා වන්නාහ. ඒ භාග්‍යවතුන්ගේ බෝධිය ඇසැතු යයි කියනු ලැබේ.
19. චිත්ත යැ හත්‍ථාළවක යැ යන දෙදෙන අග්‍රෝපස්ථායක වන්නාහ. උත්තරා යැ නන්‍දමාතා යැ යන දෙදෙන අග්‍රශ්‍රාවිකා වන්නාහ. ඒ යසස් ඇති ගොයුම් සම්බුදුනට හවුරුදු සියයෙක් ආයු වෙයි.
20. අසම වූ මහර්ෂීන්ගේ මෙ වදන් අසා ‘මේ තෙම බුද්ධබීජාංකුරයෙකැ’යි සතුටු වූ දෙවිමිනිස්සු–
21. ඔල්වරසන් පවත්වති, අපොළති, සිනහසෙති, දසදහසක් සක්වළ සදේවක ලෝකයා කළ ඇඳිලි ඇති වැ නමස්කාර කෙරේ.
22. ඉදින් මේ ලෝකනාථයන්ගේ සස්න වරදමෝ නම් අනාගත කාලයෙහි මොවුන් හමුවන්නම්හ.
23. යම්සේ මිනිස්සු ගංහෝ තරණය කරන්නාහු ප්‍රතිමුඛතීර්‍ත්‍ථය වැරැද යට තොටැහි ගෙන මහගඟ තරණය කෙරෙත් ද–
24. එසෙයින් මැ ඇපි සියල්ලමෝ ඉදින් මේ බුදුන් හරමෝ නම් අනාගතකාලයෙහි මොවුන් හමු වන්නම්හ.