15. ධර්මදර්ශී බුද්ධවංශය
1. එ මැ මණ්ඩ නම් කප්හි මහත් වූ යසස් ඇති ධර්මදර්ශී නම් බුදුහු මොහඳුරු නසා සදේවක ලෝකයෙහි අධික වැ බැබැළුණාහ.
2. අපමණ තේජස් ඇති ඒ ධර්මදර්ශී බුදුන්ගේ ද දම්සක් පැවැත්මෙහි දී කෙළලක්ෂයක් සත්නට ප්රථම ධර්මාවබෝධය වී.
3. යම් කලෙකැ ධර්මදර්ශී බුදුහු සඤ්ජය නම් රුසිහු දමනය කළ සේක් ද, එකල්හි අනූ කෙළක් සත්නට දෙ වැනි අභිසමය වී.
4. යම් කලෙකැ සක්දෙව්රජ පිරිස් සහිත වැ බුදුන් කරා එළඹියේ ද, එකල්හි අසූ කෙළක් සත්නට තුන් වැනි ධර්මාභිසමය වී.
5. දෙවියනට දෙවි වූ ඒ ධර්මදර්ශී බුදුනට ද පහවූ රාගාදි මල ඇති සන්හුන් සිත් ඇති තාදී ගුණ ඇති රහතුන්ගේ සන්නිපාත තුනෙක් වී.
6. යම් කලෙකැ ධම්මදස්සී බුදුහු සරණ නම් නගරයෙහි වස් එළැඹිසේක් ද, එකල්හි කෙළදහසක් ශ්රාවකයන්ගේ ප්රථමසමාගමය වී.
7. යළි යම් කලෙකැ ධර්මදර්ශී බුදුහු දෙව්ලොවින් මිනිස්ලොවට වැඩිසේක් ද, එකල්හි දු කෙළසියක් ශ්රාවකයන්ගේ ද්විතීය සමාගමය වී.
8. යළි යම් කලෙකැ බුදුහු (සුදර්ශනාරාමයෙහි දී හාරිත නම් තෙරණුවන් අගසවු තැන්හි තබමින්) තෙළෙස් ධුතගුණයන් ප්රකාශ කළ සේක් ද එකල්හි අසූ කෙළක් ශ්රාවකයන්ගේ තෘතීය සමාගමය වී.
9. එසමයෙහි මම් පුරින්දද වූ සක්දෙව් රජ වීම්, දිව ගඳින් මලින් පසඟතුරුරැවින් බුදුන් පිදීමි.
10. ඒ ධර්මදර්ශී නම් බුදුහු ද දෙව්පිරිස් මැද වැඩහිඳ මේ තෙම මෙයින් අටළොස් වන කප්සියෙහි බුදු වන්නේ යැ’යි මට විවරණ දුන් සේක.
11. එකල්හි තථාගතයෝ රම්ය වූ කපිල නම් පුරයෙන් නික්ම ප්රධන්වීර්ය්යය වඩා දුෂ්කරක්රියා කොට–
12. තථාගතයෝ අජපල් නම් රුක්මුල්හි හිඳ එහිදී කිරිපිඬු පිළිගෙන නිල්දලාහෝතෙරට පැමිණෙන්නාහ.
13. පස්මරුන් දිනූ ඒ ධර්මදර්ශී බුදුහු නිල්දලාහෝතෙර දී කිරිපිඬු, වළඳා දෙවියන් පිළියෙල කළ උතුම්මඟින් බෝමුල වෙත පැමිණෙන්නාහ.
14. ඉක්බිති මහත් යසස් ඇති අනුත්තර මහසත් බෝමැඩ පැදකුණු කොට ඇසතු රුක්මුල්හි බුදුවන්නේ යි.
15. මොවුන්ගේ ජනික මව මායා නම් වන්නී’ යැ, පිය තෙම සුද්ධෝදන නම් වන්නේ’ යැ, මේ තෙම ගෞතම නම් වන්නේ යි.
16. කෝලිත යැ උපතිස්ස යැ යන දෙදෙන අග්රශ්රාවක වන්නාහ, ආනන්ද නම් උපස්ථායක තෙර කෙනෙක් ඒ බුදුන්ට උපස්ථාන කරන්නාහ.
17. බෙමා යැ උප්පලවණ්ණා යැ යන දෙදෙන අග්රශ්රාවිකා වන්නාහ. ඒ භාග්යවතුන්ගේ බෝධිය ඇසැතු යයි කියනු ලැබේ.
18. චිත්ත යැ හත්ථාළවක යැ යන දෙදෙන අග්රෝපස්ථායක වන්නාහ. උත්තරා යැ නන්දමාතා යැ යන දෙදෙන අග්රෝපස්ථායිකා වන්නාහ. යසස් ඇති ඒ ගෞතම බුදුන්ට හවුරුදු සියයෙක් ආයු වෙයි.
19. අසම වූ මහර්ෂීන්ගේ මෙ වදන් අසා ‘මේ බුද්ධබීජාංකුරයෙකැ’ යි සතුටු වූ දෙවිමිනිස්සු–
20. ඔල්වරසන් පවත්වති අපොළති, සිනහසෙති, දසදහසක් සක්වළ දෙවියන් සහිත මිනිස්සු කළ ඇඳිලි ඇති වැ නමස්කාර කෙරෙත්.
21. ඉදින් ඇපි මේ ලෝකනාථයන්ගේ සස්න වරදමෝ නම් අනාගත කාලයෙහි මොවුන් හමු වන්නම්හ.
22. යම්සේ මිනිස්සු ගංහෝ තරණය කරන්නාහු ප්රතිමුඛ තීර්ත්ථයවැරැද යැටැ තොටැහි ගෙන මහගඟ තරණය කෙරෙත් ද,
23. එසෙයින් මැ ඇපි සියල්ලමෝ ඉදින් මේ ජිතපඤ්චමාරයන් හරමෝ නම් අනාගත කාලයෙහි මොවුන් හමු වන්නම්හ.
24. ඒ ධර්මදර්ශී බුදුන්ගේ ද බස් අසා බෙහෙවින් සිත පැහැදවීමි. දසපාරමීන් පුරන පිණිස මත්තෙහි ව්රතාධිෂ්ඨානය කෙළෙමි.
25. ධර්මදර්ශී නම් ශාස්තෘන් වහන්සේගේ නගරය සරණ නම් විය, සරණ නම් ක්ෂත්රිය තෙම පිතෘ විය, මව් තොමෝ සුනන්දා නමු.