16. සිද්ධාර්‍ත්‍ථ බුද්ධවංශය
1. ධර්‍මදර්ශී නම් බුදුන්ට මෑතභාගයෙහි සිද්ධාර්‍ත්‍ථ නම් ලෝකනායකයන් වහන්සේ හැම අඳුරු නසා උදාවූ සූර්‍ය්‍යයා සෙයින් ලොවැ පහළ වූසේක.
2. උන් වහන්සේ ද සම්බෝධියට පැමිණ සදේවකලෝකයා සසර කතරින් තරවමින් සදේවකලෝකයා නිවමින් දහම්වැසි වැස් වූ සේක.
3. අතුල වූ තේජස් ඇති උන් වහන්සේට ද අභිසමය තුනෙක් විය, කෙළ ලක්‍ෂයක් සත්නට ප්‍රථමාභිසමය වී.
4. යළි යම් කලෙකැ භීමරථ නම් නගරයෙහි දහම් අමා බෙර වැයූ සේක් ද, එකල්හි අනූ කෙළක් සත්නට ද්විතීයාභිසමය වී.
5. යම් කලෙකැ ඒ සිද්ධාර්‍ත්‍ථ නම් බුදුහු වෙභාර නම් පුරවරයෙහි (ඥාතිසමාගමයෙහි) දහම් දෙසූසේක් ද, එකල්හි අනූ කෙළක් සත්නට තෘතීයාභිසමය වී.
6. ද්විපදෝත්තම වූ ඒ සිද්ධාර්‍ත්‍ථ බුදුන් කෙරෙහි දු විමල වූ සන්හුන්සිත් ඇති තාදීගුණ ඇති ක්‍ෂීණාස්‍රවයන්ගේ සන්නිපාත්‍රයෙක් වී.
7. කෙළසියක් ද අනූ කෙළක් ද අසූ කෙළක් ද යන තෙල තිදෙන රහතුන්ගේ සමාගමයෙහි සන්නිපාතස්ථානයෝ වූහ.
8. එසමයෙහි මම් උග්‍ර තේජස් ඇති නො ගැටියහැකි අභිඥාබලසමාධි ඇති මඞ්ගල නම් තවුස් වීමි.
9. මම් දඹරුකින් ඵල ගෙනවුත් සිද්ධාර්‍ත්‍ථ බුදුන්ට දුනිමි, සම්බුදුහු පිළිගෙන මෙවදන් වදාළහ.
10. ජටාධර වූ උග්‍රතපස් ඇති මෙ තවුස් බලව. මේ තෙම මෙයින් සිවු අනූ වන කප්හි බුදු වන්නේ ය.
11. එකල්හි තථාගතයෝ රම්‍ය වූ කපිල නම් පුරයෙන් නික්ම ප්‍රධන්වීර්‍ය්‍ය වඩා දුෂ්කරක්‍රියා කොට–
12. තථාගතයෝ අජපාල නම් නුගරුක් මුල්හි වැඩහිඳ එහි දී කිරිපිඬු පිළිගෙන නිල්දලාහෝතෙරට පැමිණෙන්නාහ.
13. ඒ පස්මරුන් දිනූ බෝසත්හු නිල්දලාහෝතෙර දී කිරිපිඬු වළඳා (දෙවියන්) පිළියෙළ කළ උත්තමමාර්‍ගයෙන් බෝමුල වෙත පැමිණෙන්නාහ.
14. ඉක්බිති මහායසස් ඇති අනුත්තර මහසත් බෝමැඩ පැදකුණු කොට ඇසැතුරුක්මුල්හි දී බුදු වන්නේ යි.
15. මොවුන්ගේ ජනිකමව මායා නම් වන්නී යැ, පිය තෙම ශුද්ධෝදන නම් වන්නේ යැ. මේ තෙම ගෞතම නම් වන්නේ යි.
16. කෝලිත යැ උපතිස්ස යැ යන දෙදෙන අග්‍රශ්‍රාවක වන්නාහ. ආනන්‍ද නම් තෙර කෙනෙක් ඒ බුදුන්ට උපස්ථාන කරන්නාහ.
17. බෙමා යැ උප්පලවණ්ණා යැ යන දෙදෙන අග්‍රශ්‍රාවිකා වන්නාහ. ඒ භාග්‍යවතුන්ගේ බෝධිය ඇසැතු යයි කියනු ලැබේ.
18. චිත්‍ර යැ හත්‍ථාළවක යැ යන දෙදෙන අග්‍රෝපස්ථායක වන්නාහ. උත්තරා යැ නන්‍දමාතා යැ යන දෙදෙන අග්‍රෝපස්ථායිකා වන්නාහ. ඒ යසස් ඇති ගෞතම බුදුනට හවුරුදු සියයෙක් ආයු වෙයි.
19. අසම වූ මහර්ෂීන්ගේ මෙ වදන් අසා ‘මේ බුද්ධබීජාඞ්කුරයෙකැ’යි සතුටු වූ දෙවිමිනිස්සු–
20. ඔල්වරසන් පවත්වති, අපොළති, සිනහසෙති, දසදහසක් සක්වළ දෙවියන් සහිත ලෝකයා බදැඳිලි වැ නමස්කාර කෙරෙයි.
21. ඉදින් ඇපි මේ ලෝකනාථයන්ගේ සස්න වරදමෝ නම් අනාගත කාලයෙහි මොවුන් හමු වන්නම්හ.
22. යම්සේ මිනිස්සු ගංහෝ තරණය කරන්නාහු ප්‍රතිමුඛ තීර්‍ත්‍ථය වැරැද යට තොටැහි ගෙන මගගඟ තරණය කෙරෙත් ද–
23. එසෙයින් මැ ඇපි සියල්ලමෝ ඉදින් මේ බුදුන් හරමෝ නම් අනාගතකාලයෙහි මොවුන් හමු වන්නම්හ.
24. උන් වහන්සේගේ ද බස් අසා බෙහෙවින් සිත පැහැදැවීමි. දසපාරමීන් පුරනු පිණිස මත්තෙහි ව්‍රතාධිෂ්ඨාන කෙළෙමි.
25. මහර්ෂි වූ සිද්ධාර්‍ත්‍ථ බුදුන් ගේ නගරය වෙභාර නම උදේන නම් ක්‍ෂත්‍රිය තෙම පියා විය, මව් තොමෝ සුඵස්සා නමු.