17. තිස්ස බුද්ධවංශය
1-2. සිද්ධාර්ත්ථ නම් බුදුන්ට මෑතභාගයෙහි අසම වූ අප්රතිපුද්ගල වූ අනන්තතේජස් ඇති අප්රමාණ යසස් ඇති ලෝකාග්රනායක වූ අනුකම්පා ඇති මහත්වීර්ය්ය ඇති පසැස් ඇති තිස්ස නම් බුදුහු අවිද්යාන්ධකාරය නසා සදේවක ලෝකය බබුළුවා ලොවැ පහළ වූ සේක.
3. ඒ තිස්ස නම් බුදුන්ගේ ද ඍද්ධිය අතුල්ය වූ යැ ශීලය ද සමාධිය ද අතුල්ය වී. (ඒ බුදුහු) සියලු දහම් විෂයෙහි පරතෙරට පැමිණ දම්සක් පැවැත් වූසේක.
4. ඒ බුදුහු දසදහසක් සක්වළැ පවිත්ර වූ සිව්සස්වදන් අවබෝධ කරවූහ, ප්රථම ධර්මදේශනායෙහි කෙළසියක් සත්හු ධර්මාවබෝධය කළහ.
5. අනූකෙළක් සත්නට දෙ වැනි ධර්මාභිසමය වී, තෙ වැනි ධර්මදේශනයෙහි සැටකෙළක් සත්හු ධර්මාවබෝධය කළහ, එකල්හි පැමිණි දෙවිමිනිසුන් දශසංයොජනයෙන් මිදූ සේක.
6. තිස්ස නම් බුදුරජාණන් වහන්සේට විගත රාගාදිමල ඇති සන්හුන්සිත් ඇති තාදීගුණ ඇති රහත් ශ්රාවකයන්ගේ සන්නිපාත තුනෙක් වී.
7. ලක්ෂයක් රහතුන්ගේ ප්රථම සන්නිපාතය වී යැ, අනූ ලක්ෂයක් රහතුන්ගේ ද්විතීය සන්නිපාතය වී.
8. අර්හත්ඵල විමුක්තියෙන් විකසිත වූ විගතරගාදි මල ඇති අසූ ලක්ෂයක් රහතුන්ගේ තෘතීය සන්නිපාතය වී.
9. එසමයෙහි මම් සුජාත නම් ක්ෂත්රිය වූයෙම් මහත් වූ භොග හැර පියා ඍෂිප්රව්රජ්යාවට පැමිණියෙමි.
10. මා පැවිදි වූ කල්හි බුදුහු ලොවැ පහළ වූහ. ‘බුද්ධ’ යන හඬ අසා මට ප්රීති උපන.
11. දිවමදාරාමල් පරසතු කුසුම් දොහොතින් ගෙන සැලෙනුයෙම් බුදුන් කරා එළැඹියෙමි.
12. මම් එකුසුම් ගෙන සිව්පිරිස් පිරිවැරූ, ලොවට එක් මැ නායක වූ තිස්ස නම් බුදුන්ගේ මස්තකයෙහි ධැරීමි.
13. ඒ බුදුහු ද පිරිස්මැද වැඩහිඳ ‘මේ තෙම මෙයින් දෙයානූ වන කප්හි බුදු වන්නේ යැ’යි මට විවරණ දුන්සේක.
14. එකල්හි තථාගතයෝ රම්ය වූ කපිල නම් පුරයෙන් නික්ම ප්රධන්වීර්ය්ය වඩා දුෂ්කර ක්රියා කොට–
15. තථාගතයෝ අජපාල නම් න්යග්රෝධ මූලයෙහි වැඩහිඳ එහි දී කිරිපිඬු පිළිගෙන නිල්දලාහෝතෙරට එළැඹෙන්නාහ.
16. ඒ පස්මරුන් දිනූ බුදුහු නිල්දලාහෝ තෙර දී කිරිපිඬු වළඳා (දෙවියන්) පිළියෙළ කළ උත්තම මාර්ගයෙන් බෝමුල් වෙත එන්නාහ.
17. ඉක්බිති මහායසස් ඇති අනුත්තර වූ බුදුහු බෝමැඩ පැදකුණු කොට ඇසතුරුක් මුල්හි දී බුදු වන්නාහ.
18. මොවුන්ගේ ජනිකමව මායා නම් වන්නී යැ, පිය තෙම සුදොවුන් නම් වන්නේ යැ, මේ තෙම ගොයුම් නම් වන්නේ යි.
19. ඔබට ‘කෝලිත’ යැ ‘උපතිස්ස’ යැ යන දෙදෙන අගසවු වන්නාහ. “අනඳ’ නම් තෙර කෙනෙක් පස්මරුන් දිනූ එබුදුන්ට උවැටන් කරන්නාහ.
20. ‘ඛේමා’ යැ උප්පලවණ්ණා’ යැ යන දෙදෙන අගසැවි වන්නාහ. එබුදුන්ගේ බෝධිය ‘ඇසැතු’ යයි කියනු ලැබේ.
21. චිත්ත යැ හත්ථාළවක යැ යන දෙදෙන අග උවටු වන්නාහ. උත්තරා යැ නන්දමාතා යැ යන දෙදෙන අග උවට වන්නාහ. යසස් ඇති ඒ ගොයුම් ගොත් බුදුනට හවුරුදු සියයෙක් ආයු වෙයි.
22. අසම වූ මහර්ෂීන්ගේ මෙ තෙපුල් අසා ‘මේ බුද්ධබීජාඞ්කුරයෙකැ” යි සතුටු වූ දෙවිමිනිස්සු–
23. ඔල්වරසන් පවත්වති, අපොළති, සිනහසෙති, දසදහසක් සක්වළ දෙවියන් සහිත සත්ත්වයෝ ඇඳිලිබැඳ නමස්කාර කෙරෙති.