18. ඵුස්ස බුද්ධවංශය
1. එ මැ මණ්ඩ නම් කල්පයෙහි අනුත්තර වූ අනුපම වූ අසදෘශ වූ ලෝකාග්රනායක වූ ඵුස්ස නම් ශාස්තෘ කෙනෙක් පහළ වූහ.
2. ඒ ඵුස්ස නම් බුදුරජාණන් වහන්සේ ද සියලු අවිද්යාන්ධකාර නසා තෘෂ්ණාව හැරපියා සදේවක ලෝකයා අමෘත සඞ්ඛ්යාත දහම් කථා ජලයෙන් පිණවමින් දහම් වැසි වැස් වූහ.
3. නකත්මඟුල් දින ඵුස්ස බුදුන් දම්සක් පවත්වන කල්හි කෙළ ලක්ෂයක් සත්නට පළමු වන ධර්මාභිසමය වී.
4. අනූලක්ෂයක් සත්නට දෙ වැනි ධර්මාභිසමය විය, අසූලක්ෂයක් සත්නට තුන්වැනි ධර්මාභිසමය වී.
5. මහර්ෂි වූ ඵුස්ස බුදුනට ද විමල වූ ශාන්ත සිත් ඇති තාදීගුණ ඇති ක්ෂීණාස්රව ශ්රාවකයන්ගේ සන්නිපාත තුනෙක් වී.
6. සැට ලක්ෂයක් ශ්රාවකයන්ගේ ප්රථම සමාගමය වීය, පනස්ලක්ෂයක් ශ්රාවකයන්ගේ ද්විතීයසන්නිපාතය වී.
7. උපාදා රහිත වැ කෙලෙසුන් කෙරෙන් මිදුණු සිඳහළ ප්රතිසන්ධි ඇති සතලිස් ලක්ෂයක් ශ්රාවකයන්ගේ තෘතීය සන්නිපාතය වී.
8. එසමයෙහි මම් විජිතාවී නම් ක්ෂත්රිය වූයෙම් මහරජය හැරපියා ඒ ඵුස්ස බුදුන් වෙත පැවිදි වීමි.
9. ලෝකාග්රනායක වූ ඒ ඵුස්ස බුදුරජාණන් වහන්සේ ද ‘මේ තෙම මෙයින් දෙයානූ වන කප්හි බුදු වන්නේ යැ’ යි මට විවරණ දුන්සේක.
10. එකල්හි තථාගතයෝ රම්ය වූ කපිලවාස්තු නම් පුරයෙන් නික්ම ප්රධන්වීර්ය්ය වඩා දුෂ්කරක්රියා කොට–
11. තථාගතයෝ අජපල් නම් නුගරුක්මුල්හි හිඳ එහි දී කිරිපිඬු පිළිගෙන නිල්දලාහෝතෙරට එළැඹෙන්නාහ.
12. ඒ ජින තෙම නිල්දලාහෝතෙර දී කිරිපිඬු වළඳා (දෙවියන්) පිළියෙල කළ උතුම් මඟින් බෝමුල වෙත පැමිණෙන්නේය.
13. ඉක්බිති මහායසස් ඇති අනුත්තර වූ මහසත් බෝමැඩ පැදකුණු කොට ඇසැතුරුක්මුල්හි දී බුදු වන්නේය.
14. මොවුන්ගේ ජනිකමව මායා නම් වන්නී යැ, පිය තෙම ශුද්ධෝදන නම් වන්නේ යැ, මේ තෙම ගෞතම නම් වන්නේ යි.
15. (ඔබට) කෝලිත යැ උපතිස්ස යැ යන දෙදෙන අග්රශ්රාවක වන්නාහ. ආනන්ද නම් උපස්ථායක තෙර කෙනෙක් එ බුදුන්ට උවැටන් කරන්නාහ.
16. ඛේමා යැ උප්පලවණ්ණා යැ යන දෙදෙන අග්රශ්රාවිකා වන්නාහ. ඒ භාග්යවතුන්ගේ බෝධිය ‘ඇසැතු’ යයි කියනු ලැබේ.
17. චිත්ත යැ හත්ථාළවක යැ යන දෙදෙන අග්රෝපස්ථායක වන්නාහ. උත්තරා යැ නන්දමාතා යැ යන දෙදෙන අග්රෝපස්ථායිකා වන්නාහ, යසස්වී වූ ඒ ගෞතම බුදුනට හවුරුදු සියයෙක් ආයු වෙයි.
18. අසම වූ මහර්ෂීන්ගේ මෙ තෙපුල් අසා ‘මේ තෙම බුද්ධබීජාඞ්කුරයෙකැ’යි සතුටු වූ දෙවිමිනිස්සු–
19. ඔල්වරසන් පවත්වති, අපොළති, සිනාසෙති, දසදහසක් සක්වළ සදේවකලෝකයා බදැඳිලි වැ නමස්කාර කෙරෙයි.
20. ඉදින් අපි මේ ලෝකනාථයන්ගේ සස්න වරදමෝ නම් අනාගත කාලයෙහි මොවුන් හමු වන්නම්හ.
21. යම්සේ මිනිස්සු ගංහෝ තරණය කරන්නාහු ප්රතිමුඛතීර්ත්ථය වැරැද යට තොටැහි ගෙන මහගඟ තරණය කෙරෙත් ද–
22. එසෙයින් මැ ඇපි සියල්ලමෝ ඉදින් මෙබුදුන් හරමෝ නම් අනාගතකාලයෙහි මොවුන් හමු වන්නම්හ.
23. එ බුදුන්ගේ ද බස් අසා බෙහෙවින් සිත පැහැදවීමි. දසපාරමීන් පුරන පිණිස මත්තෙහි ව්රතාධිෂ්ඨානය කෙළෙමි.
24. සූත්රාන්තපිටකය ද විනය ද නවාඞ්ගශාස්තෘශාසනය ද යන සියල්ල පිරිවහා බුදු සස්න හෙබැ වීමි.