19. විපස්සී බුද්ධවංශය
1. ඵුස්ස බුදුන්ට මෑත භාගයෙහි නමින් විපස්සී නම් වූ පසැස් ඇති ද්විපදෝත්තම වූ සම්බුදුරජාණන් වහන්සේ ලොවැ පහළවූසේක.
2. හැම අවිදු අඳුරු බිඳ උතුම් වූ සම්බෝධියට පැමිණියාහු දම්සක් පවත්වන්නට බන්‍ධුමතී පුරයට වැඩිසේක.
3. දම්සක් පවත්වා (මල්බෑ ඛණ්ඩ රාජපුත්‍ර යැ, තිස්ස පුරෝහිත පුත්‍ර යැ යන) දෙදෙනාට සත්‍යාවබෝධය කරවූහ. ගණනින් නො කියහෙන සත්ත්‍ව කෙනෙක් පළමු වැනි ධර්‍මාවබෝධය කළහ.
4. යළි අප්‍රමාණ යශස් ඇති විදර්ශී බුදුහු ඒ ක්‍ෂේම නම් මුවළැව්හි දී සිව්සස් පැවැසූහ. සුවාසූ දහසක් සත්නට ද්විතීයාභිසමය වී.
5. සුවාසූ දහසක් සත්හු බුදුනට පසුව ලා පැවිදි වූහ, පසැස් ඇති බුදුහු අරමට පැමිණි ඔවුනට දහම් දෙසූසේක.
6. සර්‍වාකාරයෙන් කරුණු එළවමින් වදාරන විපස්සී බුදුන්ගේ දහම් අසා ඒ සුවාසූ දහසක් මහණහු ද උතුම් දහම් දැන (මෙසේ ඔවුන්ගේ) තුන් වැනි ධර්‍මාවබෝධය වී.
7. මහර්ෂි වූ විපස්සී සර්‍වඥයන් වහන්සේට විමල වූ ශාන්ත සිත් ඇති තාදිගුණ ඇති රහතුන්ගේ ශ්‍රාවක සන්නිපාත තුනෙක් වී.
8. අටසැටලක්‍ෂයක් රහතුන්ගේ ප්‍රථම සන්නිපාතය වී යැ, ලක්‍ෂයක් රහත්මහණුන්ගේ ද්විතීය සන්නිපාතය වී.
9. අසූ දහසක් ක්‍ෂීණාස්‍රව භික්‍ෂුන්ගේ තෘතීය සන්නිපාතය වී යැ. එහි මහණගණ මැද සම්බුදුහු අතිශයින් දිලියුණාහ.
10. එසමයෙහි මම් නමින් අතුල නම් වූ පින් ඇති පැහැපත් මහ ඉඳුහ ඇති නාරජ වූයෙමි.
11. එකල්හි මම් නොයෙක් කෙළගණන් නයින් පිරිවරා දිවපසඟවයමින් බුදුන් කරා එළැඹියෙමි.
12. මම ලෝකස්වාමී වූ විදර්ශී සම්බුදුන් කරා එළැඹ දහම්රජ වූ බුදුන් පවරා මිණිමුතු ඈ රුවනින් නිමවන ලද පබළු ඈ සැරැහුමෙන් සරහන ලද රන් පුටුවක් පිදීමි.
13. ඒ විදර්ශී සර්‍වඥයන් වහන්සේ ද සඟ මැද වැඩහිඳ මේ තෙමේ මෙයින් එක් අනූවන කල්පයෙහි බුදු වන්නේ යයි විවරණ දුන් සේක.
14. ඒ තථාගත වූ බෝසත් සිත්කලු වූ කිඹුල්වත් නම් නුවරින් නික්ම ප්‍රධන්වීර්‍ය්‍ය වඩා දුෂ්කරක්‍රියා කොට–
15. තථාගත වූ බෝසත් අජපල් නම් නුගරුක්මුල වැඩහිඳ එහි දී කිරිපිඬු පිළිගෙන නිල්දලා හෝතෙරට පැමිණෙන්නේ ය.
16. ජිතමාර වූ බෝසත්හු නිල්දලා හෝ තෙර හිඳ කිරිපිඬු වළඳා (දෙවියන්) පිළියෙළ කළ උතුම් මඟින් බෝමුල වෙත පැමිණෙන්නාහ.
17. ඉක්බිති මහායශස් ඇති අනුත්තර වූ මහසත්හු බෝමැඩ පැදකුණු කොට ඇසැතුරුක්මුල්හි හිඳ සම්‍යක් සම්බෝධිය අවබෝධ කරන්නාහ.
18. මොවුන් ගේ ජනිකා මව මායා නම් වන්නීය. ජනකපිය තෙමේ ශුද්ධෝදන නම් වන්නේ ය. මේ තෙමෙ ගෞතම නම් වන්නේ යි.
19. අනාස්‍රව වූ විගතරාග ඇති ශාන්ත වූ සිත් ඇති ඵලසමාපත්තියෙන් සමාහිත වූ කෝලිත යැ උපතිස්ස යැ යන දෙදෙනා අග්‍රශ්‍රාවක වන්නාහ. ආනන්‍ද නම් උපස්ථායකයෙක් ඒ බුදුන්ට උපස්ථාන කරන්නේ ය.
20. බෙමා යැ උප්පලවණ්ණා යැ යන දෙදෙන අග්‍රශ්‍රාවිකා වන්නාහ. ඒ භාග්‍යවත්හු ගේ බෝධිය ඇසැතු යයි කියනු ලැබේ.
21. චිත්ත යැ හත්‍ථාළවක යැ යන දෙදෙන අග්‍රෝපස්ථායක වන්නාහ. උත්තරා යැ නන්‍දමාතා යි අග්‍රෝපස්ථායිකා දෙදෙනෙක් වන්නාහ. ඒ යශස්වී වූ ගෞතම බුදුනට හවුරුදු සියයෙක් ආයු වෙයි.
22. අසම වූ මහර්ෂි වූ බුදුන් ගේ මෙ වදන් අසා මේ තෙමේ බුද්ධබිජාංකූරයෙකැ’යි සතුටු වූ දේව මනුෂ්‍යයෝ–