20. සිඛී බුද්ධවංශය
1. විදර්ශී නම් බුදුන්ට මෑතභාගයෙහි ද්විපදෝත්තම වූ පස්මරුන් දිනූ අසම වූ අප්‍රතිපුද්ගල වූ සිඛී නම් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ ලොවැ පහළ වූ සේක.
2. මරසෙනඟ මැඩපියා උතුම්වූ සම්බෝධියට පැමිණි සේක් සත්ත්‍වයන්ට අනුකම්පා පිණිස දම්සක් පැවැත්වූ සේක.
3. මුනිශ්‍රෙෂ්ඨ වූ සිඛී බුදුරජාණන් වහන්සේ දම්සක් පවත්වන කල්හි කෙළ ලක්‍ෂයක් සත්නට පළමුවන ධර්‍මාභිසමය වී.
4. නැවත ද ගණශ්‍රේෂ්ඨ වූ නරෝත්තම වූ බුදුරදුන් දහම් දෙසන කල්හි අනූකෙළදහසක් සත්නට දෙවෙනි ධර්‍මාභිසමය වී.
5. සදේවක ලෝකයා විෂයෙහි යමාමහ පෙළහර දක්වන බුදුන් දහම් දෙසන කල්හි අසූකෙළදහසක් සත්නට තුන්වැනි ධර්‍මාභිසමය වී.
6. මහර්ෂී වූ සිඛී බුදුරදුන්ට ද විගත වූ කෙලෙස්මල ඇති සන්හුන් සිත් ඇති තාදීගුණ ඇති ක්‍ෂීණාස්‍රවයන් සම්බන්‍ධි වූ තුන් ශ්‍රාවකසන්නිපාත කෙනෙක් වූහ.
7. භික්‍ෂූන් සියදහසක් සම්බන්‍ධී වූ ප්‍රථම ශ්‍රාවක සන්නිපාතය විය. භික්‍ෂූන් අසූදහසක් සම්බන්‍ධි වූ ද්විතීය ශ්‍රාවක සන්නිපාතය වී.
8. භික්‍ෂූන් සැත්තෑදහසක් සම්බන්‍ධි වූ තෘතීය ශ්‍රාවකසන්නිපාතය වී (දියෙහි ඉපදැ) දියෙහි වැඩුණු දිය හා අලිප්ත වූ පියුමක් සෙයින් (ඒ භික්‍ෂු සන්නිපාතය ද) ලොකධර්‍මයන් හා අලිප්ත වූයේ වී.
9. එ සමයෙහි මම අරින්‍දම නම් ක්‍ෂත්‍රිය වූයෙම් බුදුපාමොක් සඟන ආහාරපානයෙන් සන්තර්‍පණය කෙළෙමි.
10. මම් බොහෝ වූ උතුම් වස්ත්‍ර ද, අනල්ප වූ වස්ත්‍ර කෝටි ද දී, බුදුරදුන්ට (රන්දැල් ආදීන්) සරසන ලද හස්තියානයක් දිනිමි.
11. හස්තියානය ප්‍රමාණ කොට (ඇතු උසට) කප්පියභාණ්ඩ පූජා කෙළෙමි. නිරතුරු දැඩිව එළැඹ සිටි මා ගේ මනස පිරීමි.
12. ලෝකාග්‍රනායක වූ ඒ සිඛී බුදුහු දු මේ තෙමේ මෙයින් එක්තිස්වන කල්පයෙහි බුදු වන්නේ ය’යි මට විවරණ දුන්හ.
13. එකල්හි තථාගත වූ බෝසත්හු රම්‍ය වූ කපිල නම් පුරයෙන් නික්ම ප්‍රධන්වීර්‍ය්‍යය වඩා දුෂ්කර ක්‍රියා කොට–
14. එ තථාගතයෝ අජපල් නම් නුගරුක් මුල වැඩහිඳ එහි දී කිරිපිඬු පිළිගෙන නිල්දලා ගංතෙරට පැමිණෙන්නනාහ.
15. එ ජිතමාර වූ බෝසත්හු නිල්දලා ගංතෙර හිඳ කිරිපිඬු වළඳා දෙවියන් සැරැසූ උතුම් මඟින් බෝමුල කරා පැමිණෙන්නාහ.
16. ඉක්බිති අනුත්තර වූ මහසත්හු බෝමැඩ පැදකුණු කොට, මහායශස් ඇත්තාහු ඇසැතුරුක් මුල්හි වැඩහිඳ සත්‍යාවබෝධය කරන්නාහ.
17. මොවුන් ගේ ජනිකමවු තොමෝ මායා නම් වන්නී ය. පියතෙමේ සුද්ධෝදන නම් වන්නේ ය. මේ තෙමේ ගොතම නම් වන්නේ යි.
18. අනාස්‍රව වූ වීතරාග වූ ශාන්ත සිත් ඇති අර්‍හත්ඵල සමාධියෙන් සමාහිත වූ කෝලිත යැ උපතිස්ස යැ යන මොහු අග්‍රශ්‍රාවක වන්නාහ. ආනන්‍ද නම් උපස්ථායකයෙක් ඒ බුදුන්ට උපස්ථාන කරන්නේ යි.
19. ඛේමා යැ උප්පලවණ්ණා යැ යන දෙදෙන අග්‍රශ්‍රාවිකා වන්නාහ. ඒ භාග්‍යවත්හු ගේ බෝධිය ඇසැතු යයි කියනු ලැබේ.
20. චිත්ත යැ හත්‍ථාළවක යැ යන මොහු අග්‍රෝපස්ථායක වන්නාහ. උත්තරා යැ නන්‍දමාතා යැ යන මොහු අග්‍රෝපස්ථායිකා වන්නාහ. යසස්වී වූ ඒ ගෞතම බුදුන්ට ආයු සියක් හවුරුදු වෙයි.
21. අසම වූ මහර්ෂීන් ගේ මෙ වදන් අසා දේව මනුෂ්‍යයෝ මේ තෙමේ බුද්ධබීජාඞ්කුරයෙකැයි සතුටු වූවාහු–
22. ඔල්වරසන් පවත්වති, අපොළති, සිනහසෙති, දෙවියන් සහිත වූ දසදහස් ලෝධා වැසියෝ බදැඳිලි ව නමස්කාර කෙරෙත්.