21. වෙස්සභූ බුද්ධවංශය
1. ඒ මණ්ඩකල්පයෙහි මැ අසම වූ අප්රතිපුද්ගල වූ නාමයෙන් වෙස්සභූ නම් වූ බුදුරජාණන් වහන්සේ ලොවැ පහළ වූ සේක.
2. එකල්හි රාගගින්නෙන් (මෙ හැම තුන් ලොව) ආදීප්ත වී යයි ද, තෘෂ්ණාවන් ගේ විජිතයෙකැයි ද දැන කිඳිලියබැඳුම් සිඳ ඇත්රජක්හු සෙයින් (කෙලෙස් බැඳුම් සිඳ) උතුම් වූ සම්බෝධියට පැමිණි සේක.
3. වෙස්සභූ ලෝකනායකයන් වහන්සේ දම්සක් පවත්වන කල්හි අසූකෙළදහසක් සත්නට ප්රථම ධර්මාවබෝධය වී.
4. ලෝකජ්යේෂ්ඨ වූ නරශ්රේෂ්ඨ වූ සර්වඥයන් වහන්සේ ජනපදචාරිකායේහි නික්මැ ගිය කල්හි සැත්තෑකෙළදහසක් සත්නට දෙවැනි ධර්මාභිසමය වී.
5. ඒ බුදුහු මහත් වූ දෘෂ්ටිජාලය දුරු කෙරෙමින් යමාමහපෙළහර කළහ. එකල්හි දශසහස්රසදේවලෝකයෙහි දෙවිමිනිස්සු රැස්වූහ.
6. අද්භූත වූ ලොමුදහන මහත් වූ ආශ්චර්ය්යය දැක සැටකෙළක් දෙවියෝ ද මනුෂ්යයෝ ද ධර්මාවබෝධය කළහ.
7. වෙස්සභූ මහර්ෂීන් වහන්සේට විගත වූ රාගාදිමල ඇති ශාන්ත වූ සිත් ඇති තාදීගුණ ඇති ක්ෂීණාස්රවයන් සම්බන්ධ වූ තුන් ශ්රාවකසන්නිපාත කෙනෙක් වූහ.
8. අසූදහසක් භික්ෂූන්ගේ ප්රථමශ්රාවකසන්නිපාතය විය. සැත්තෑදහසක් භික්ෂූන්ගේ ද්විතීය ශ්රාවකසන්නිපාතය වී.
9. ජරාදි සසරබිය ඉක්ම වූ මහර්ෂීන් පුත්ර වූ සැටදහසක් භික්ෂූන්ගේ තෘතීය ශ්රාවකසන්නිපාතය වී.
10. එසමයෙහි මම් සුදර්ශන නම් ක්ෂත්රිය වූයෙම් මහාවීර වූ බුදුන් පවරා මහාර්හ වූ දනක් දී ආහාරපානයෙන් ද වස්ත්රයෙන් ද සඞ්ඝයා සහිත වූ බුදුන් පිදීමි.
11. අසම වූ ඒ බුදුන් විසින් උතුම් වූ දම්සක් පවත්වනලද. ප්රණීත වූ ඒ දහම් අසා පැවිද්ද රුචි කෙළෙමි.
12. රෑදෙවෙහි අනලස් වූයෙම් මහදන් පවත්වා පැවිද්ද ගුණසම්පන්න යැ යි දැන බුදුන් සමීපයෙහි පැවිදි වීමි.
13. ආචාරයෙන් හා ගුණයෙන් යුක්ත වූයෙම් වතින් හා ශීලයෙන් යුක්ත වූයෙම් සර්වඥතාඥානය සොයමින් බුදුසසුන්හි සිත් අලවා විසීමි.
14. ශ්රද්ධාවට ද ප්රීතියට ද පැමිණ ශාස්තෲන් වහන්සේගේ පාසඟුළුවන් වැන්දෙමි. සම්යක්සම්බෝධිය මැ හේතු කොට ගෙන මට ප්රීතිය උපන.
15. සම්මාසම්බුදුහු (මා) නො පසුබස්නා සිත් ඇත්තහු දැන ‘මේ තෙම මෙයින් එක්තිස් වන කපැ බුදු වන්නේ ය’යි මෙවදන් වදාළහ.
16. එකල්හි තථාගත වූ බෝසත්හු රම්ය වූ කපිල නම් පුරයෙන් නික්ම ප්රධන්වීර්ය්ය වඩා දුෂ්කරක්රියා කොට–
17. ඒ තථාගතයෝ අජපල් නම් නුගරුක්මුල වැඩහිඳ එහි දී කිරිපිඬු පිළිගෙන නිල්දලාහෝතෙරට පැමිණෙන්නාහ.
18. ඒ ජිතමාර වූ බෝසත්හු නිල්දලාගංතෙර හිඳ කිරිපිඬු වළඳා දෙවියන් සැරසූ උතුම් මඟින් බෝමුල කරා පැමිණෙන්නාහ.
19. ඉක්බිති අනුත්තර වූ මහසත්හු මහායශස් ඇත්තාහු ඇසැතුරුක්මුල්හි වැඩහිඳ සත්යාවබෝධය කරන්නාහ.
20. මොවුන්ගේ ජනිකමව් තොමෝ මායා නම් වන්නී යැ පිය තෙමේ සුද්ධෝදන නම් වන්නේ යැ මේ තෙමේ ගොතම නම් වන්නේ යි.
21. අනාස්රව වූ වීතරාග වූ ශාන්ත සිත් ඇති අර්හත්ඵලසමාධියෙන් සමාහිත වූ කෝලිත යැ උපතිස්ස යැ යන මොහු අග්රශ්රාවක වන්නාහ. ඒ බුදුන්ට ආනන්ද නම් උපස්ථායකයෙක් උපස්ථාන කරන්නේ යි.