6. සෝභිත බුද්ධවංශය
1. රේවත නම් බුදුන්ට ඉක්බිති සමාහිත වූ සන්හුන්සිත් ඇති අසම වූ ප්‍රතිපුද්ගලයන් නැති සෝභිත නම් බුදුහු ලොවැ පහළවූහ.
2. ඒ ජිතපඤ්චමාර වූ බුදුහු සිය භවනයෙහි දී (සතියක් තුළ පෘථග්ජන) සිත (බුද්ධත්‍වයට) පරිවර්‍තනය කළහ. සර්‍වඥතාඥානයට පැමිණ දම්සක් පැවැත්වූසේක.
3. ඒ ධර්‍මචක්‍රදේශනායෙහි යටින් අවීචිය පටන් කොට උඩින් භවාග්‍රය දක්වා මෙදෑතුරැ එක් පිරිසෙක් වී.
4. එපිරිස් මැද සම්බුදුහු දම්සක් පැවැත්වූහ. ගණනින් නො කියහැකි (සඩ්ඛායාපථාතික්‍රාන්ත) වූ ප්‍රථමධර්‍මාභිසමය වී.
5. එයින් මෑතභාගයෙහි (තව්තිසාභවනයෙහි) දෙවියන්ගේ සමාගමයෙහි අභිධර්‍මදේශනාව කරන කල්හි (දෙසුම් කෙළවර) නවකෙළදහසක් දෙවියනට ද්විතීයධර්‍මාභිසමය වී.
6. නැවැත රාජපුත්‍ර වූ ජයසේන නම් ක්‍ෂත්‍රිය තෙම (සුන්‍දර නම්) ආරාමයක් කරවා එකල්හි බුදුනට පිදී.
7. චක්‍ෂුර්මත් වූ බුදුහු එරජකුමරුගේ දානය කීර්‍තනය කෙරෙමින් දහම් දෙසූහ. එකල්හි කෙළදහසක් සත්නට තුන් වැනි ධර්‍මාභිසමය වී.
8. මහර්ෂී වූ සෝභිත බුදුන්ට විගතමල වූ සන්හුන් සිත් ඇති තාදීගුණ ඇති ක්‍ෂීණාස්‍රවයන්ගේ තුන් ශ්‍රාවකසන්නිපාතයෙක් වී.
9. උග්ගත නම් වූ ඒ රජ නරෝත්තම වූ බුදුන් කෙරෙහි දන් දින. එකල්හි ඒ දානයෙහි කෙළසියක් රහත්හු රැස්වූහ.
10. යළි පුරගණයා නරෝත්තම වූ බුදුනට දන් දින. එකල්හි අනූකෙළක් ප්‍රාණීන්ට ද්විතීය ධර්‍මාභිසමය වී.
11. යම් කලෙකැ පස්මරුන් දිනූ බුදුහු දෙව්ලොව්හි වැස අවතීර්‍ණ වූහු ද එකල්හි අසූකෙළක් ප්‍රාණීන්ට තෘතීය ධර්‍මාභිසමය වී.
12. එසමයෙහි මම් සුජාත නම් බ්‍රාහ්මණ වීමි. එකල්හි සභුන් සහිත බුදුන් ආහාරපානයෙන් සැතැපීමි.
13. ලෝකනායක වූ ඒ සෝභිත නම් සම්මාසම්බුදුහු ද, ‘මේ තෙමේ මෙයින් අප්‍රමේය වූ කල්පයෙහි බුදු වන්නේ ය’යි මට විවරණ දුන්සේක.
14. එකල්හි තථාගත වූ මේ තෙමේ රම්‍ය වූ කපිල නම් පුරයෙන් නික්ම ප්‍රධන්වීර්‍ය්‍යය වඩා දුෂ්කරක්‍රියා කොට–
15. තථාගත තෙමේ අජපල් නම් නුගරුක්මුල්හි හිඳ එහි දී කිරිපිඬු පිළිගෙන නිල්දලාහෝතෙරට එළැඹෙයි.
16. ඒ ජිතපඤ්චමාරයෝ නිල්දලා හෝතෙර හිඳ කිරිපිඬු වළඳා (දෙවියන්) පිළියෙළ කළ උත්තම මාර්‍ගයෙන් ඇසැතුබෝරුක වෙත එළැඹෙයි.
17. ඉක්බිති ඒ මහායශස් ඇති අනුත්තර වූ බෝසත් බෝමැඩ පැදකුණු කොට ඇසැතු රුක්මුල්හි හිඳ බුදු වන්නේ යැ.
18. මොවුන්ගේ ජනික මව මායා නම් වන්නී යැ පිය තෙම ශුද්ධෝදන නම් වන්නේ යැ. මේ තෙමේ ගෞතම නම් වන්නේ යි.
19. කෝලිත යැ උපතිස්ස යැ යන දෙදෙනා අග්‍රශ්‍රාවක වන්නාහ. ආනන්‍ද නම් උපස්ථායකයෙක් ඒ ජිතපඤ්චමාර බුදුන්ට උපස්ථාන කෙරෙයි.
20. බෙමා යැ උප්පලවණ්ණා යැ යන දෙදෙන අග්‍රශ්‍රාවිකා වන්නාහ. ඒ භාග්‍යවතුන්ගේ බෝධිය ‘ඇසැතු’ යයි කියනුලැබේ.
21. චිත්ත යැ හත්‍ථාළවක යැ යන මොහු අගඋවටු වන්නාහ උත්තරා යැ නන්‍දමාතා යැ යන මොහු අග උවට වන්නාහ. යශස්වී වූ ඒ ගෞතම බුදුනට වර්‍ෂ සියයෙක් ආයු වෙයි.
22. අසම වූ මහර්ෂීන්ගේ මෙවදන් අසා ‘මේ තෙම බුද්ධබීජාඞ්කුරයෙකැ’යි දෙවිමිනිස්සු සතුටු වූවාහු.