5. රේවත බුද්ධවංශය
1. සුමන නම් බුදුරදුන්ට මෑත භාගයෙහි ලොවට නායක වූ අනුපම වූ අසදෘශ වූ අතුල්‍ය වූ උත්තම වූ රේවත නම් ජිතපඤ්චමාර වූ සර්‍වඥ කෙනෙක් පහළ වූහ.
2. ඔබ ද මහ බඹහු විසින් අයදනා ලදහු ස්කන්‍ධධාතූන් විභාග කරන (වෘද්ධි හානි ආදි) භවාභවයන් ප්‍රහාණය කරන දහම් ප්‍රකාශ කළහ.
3. උන් වහන්සේගේ දහම් දෙසුම්හි තුන් අභිසමය කෙනෙක් වූහ. ප්‍රථමාභිසමය ගණනින් නො කියයුතු වෙයි.
4. යම් කලෙක රේවත මුනිහු අරින්‍දම නම් රජ විනයනය කළාහු ද එකල්හි කෙළ දහසක් ප්‍රාණීන්ට ද්විතීයාභිසමය වී.
5. නරශ්‍රේෂ්ඨ වූ බුදුහු සතියක් මුළුල්ලෙහි සමවත් සුවයෙන් වැඩ සිට ඉන් නැඟී දෙවිමිනිසුන් කෙළසියක් අග්‍රඵලයෙහි විනයනය කළහ.
6. මහර්ෂි වූ රේවත නම් බුදුන්ට විගත වූ රාගාදි මල ඇති මොනොවට කෙලෙසුන් කෙරෙන් මිදුණු ලාභාලාභාදියෙහි තාදී වූ ක්‍ෂීණාස්‍රවයන් සම්බන්‍ධි වූ ශ්‍රාවකසන්නිපාත තුනෙක් වී.
7. යම් කෙනෙක් පළමුවට රැස්වූහු නම් ඔහු ගණනපථය ඉක්මගියාහු. කෙළ සුවදහසක් ශ්‍රාවකයන්ගේ ද්විතීය සමාගමය වී.
8. ඒ රේවත බුදුරදුන්ට අනුව දම්සක් පවත්වන්නා වූ ප්‍රඥායෙන් (ශ්‍රාවකාන්තරයන් හා) අසම වූ යම් වරුණ නම් අගසවු කෙනෙක් වූහු ද එකල්හි උන් වහන්සේ රෝගී වූවාහු ජීවිත සංශයට පැමිණියාහු වූහ.
9. එකල්හි උන් වහන්සේගේ ගිලන් බව පුළුවුස්නට යම් මුනි කෙනෙක් එළැඹියාහු ද ඒ කෙළසුවහස් රහතුන්ගේ තුන් වැනි සමාගමය වී.
10. එසමයෙහි මම් අතිදේව නම් බ්‍රාහ්මණ වූයෙම් රේවත නම් බුදුන් කරා එළැඹ උන් වහන්සේ ගේ සරණයට ගියෙමි.
11. මම් උන් වහන්සේගේ නිරුත්තර වූ ශීලය ද සමාධිය ද ප්‍රඥාගූණය ද යථාශක්තීන් ථොමනය කොට උතුරුසළුව පිදීමි.
12. ලෝකනායක වූ ඒ රේවත බුදුහු ද ‘මේ තෙමේ මෙයින් අප්‍රමේය කල්පයෙහි බුදු වන්නේ යයි මා ප්‍රකාශ කළසේක.
13. එකල්හි තථාගත වූ මේ තෙම කපිල නම් වූ සිත්කලු පුරයෙන් නික්ම ප්‍රධන්වීර්‍ය්‍යය වඩා දුෂ්කරක්‍රියා කොට–
14. තථාගත තෙම අජපල් නම් රුක්මුල්හි හිඳ එහි දී කිරිපිඬු පිළිගෙන නිල්දලා හෝ තෙරට එළැඹෙයි.
15. ඒ ජිතපඤ්චමාර තෙම නිල්දලා හෝතෙර හිඳ කිරිපිඬු වළඳා (දෙවියන්) පිළියෙළ කළ උත්තමමාර්‍ගයෙන් ඇසැතු බෝරුක වෙත එළැඹෙයි.
16. ඉක්බිති ඒ අනුත්තර වූ බෝසත් බෝමැඩ පැදකුණු කොට මහායශස් ඇතියේ ඇසැතු රුක්මුල්හි හිඳ බුදුවන්නේ යි.
17. මොවුන්ගේ ජනික මව් තොමෝ මායා නම් වන්නී යැ. පිය තෙමේ ශුද්ධෝන නම. මේ තෙමේ ගෞතම නම් වන්නේ යි.
18. කෝලිත යැ උපතිස්ස යැ යන දෙදෙන අගසවු වන්නාහ. ආනන්‍ද නම් උපස්ථායක තෙර කෙනෙක් ඒ ජිතපඤ්චමාර බුදුන්ට උපස්ථාන කරන්නාහ.
19. ඛේමා යැ උප්පලවණ්ණා යැ යන දෙදෙන අග්‍රශ්‍රාවිකා වන්නාහ. ඒ භාග්‍යවතුන්ගේ බෝධිය ඇසැතු යයි කියනු ලැබේ.
20. චිත්ත යැ හත්‍ථාළවක යැ යන දෙදෙන අග උවටු වන්නාහ. උත්තරා යැ නන්‍දමාතා යැ යන දෙදෙන අග උවට වන්නාහ. යශස්වී වූ ඒ ගෞතම බුදුන්ට හවුරුදු සියයෙක් ආයු වන්නේ යි.
21. අසම වූ මහර්ෂීන්ගේ මෙවදන් අසා දෙවිමිනිස්සු ‘මේ බුද්ධබීජාඞ්කුරයෙකැ’යි සතුටු වූවාහු–
22. ඔල්වරසන් පවත්වති, අපොළති, සිනහසෙති. දසදහසක් සක්වළ දෙවියන් සහිත ලෝවැස්සෝ කළ ඇඳිලි ඇත්තාහු නමස්කාර කෙරෙත්.
23. ඉදින් මේ ලෝකනාථයන්ගේ සස්න වරදමෝ නම් අනාගතකාලයෙහි මොවුන් හමු වන්නම්හ.
24. යම්සේ මිනිස්සු ගංහෝ තරණය කරන්නාහු ප්‍රතිමුඛතීර්‍ත්‍ථය වැරැදැ යට තොටැහි ගෙන මහගඟ උත්තරණය කෙරෙත් ද,
25. එසෙයින් මැ ඇපි හැමදෙනමෝ ඉදින් මේ බුදුන් හරමෝ නම් අනාගතකාලයෙහි මොවුන් හමු වන්නම්හ.