2. කොණ්ඩඤ්ඤ බුද්ධවංශය
1. දීපඞ්කර සර්‍වඥයන් වහන්සේට මෑතභාගයෙහි අපරිමිත ලෝක ධාතුයෙහි පතළ ශීලගුණතේජස් ඇති අනන්ත වූ පරිවාර හා ගුණකීර්ති ඇති ගුණගණපරිමාණ විසින් අප්‍රමේය වූ අනභිභවනීය වූ කොණ්ඩඤ්ඤ නම් සර්‍වඥයන් වහන්සේ පහළ වූ සේක.
2. ඒ බුදුහු ක්‍ෂාන්තියෙන් පෘථිවිය හා සම වූහ, ශීලසංවරයෙන් සාගරය හා සම වූහ. සමාධියෙන් මේරුපර්‍වතය හා සමවූහ. (අනන්ත වූ) ඥානයෙන් ගගනූපම වූහ.
3. ඒ බුදුහු හැම කල්හි සියලු සත්නට හිත පිණිස ඉන්‍ද්‍රිය බල බෝධ්‍යඞ්ග මාර්‍ග සත්‍යප්‍රකාශක වූ (සත්තතිංස බෝධිපක්ඛිය) ධර්‍මය ප්‍රකාශ කළහ.
4. කොණ්ඩඤ්ඤ නම් ලෝකනායකයන් වහන්සේ දම්සක් පවත්වන කල්හි කෙළසියදහසක් සත්නට ධර්‍මාභිසමය වී,
5. එයින් අපරභාගයෙහි දු දෙවිමිනිසුන් ගේ (මහාමඞ්ගල) සමාගමයෙහි අනූකෙළදහසක් සත්නට ද්විතීයධර්‍මාභිසමය විය.
6. යම් කලෙක (යමාමහපෙළහර පෑ) තීර්‍ත්‍ථකයන් අභිමර්දනය කෙරෙමින් දහම් දෙසූ සේක් ද, (එකල්හි අසූකෙළදහසක් සත්නට තුන්වැනි) ධර්‍මාභිසමය වී.
7. මහර්ෂී වූ කොණ්ඩඤ්ඤ සර්‍වඥයන් වහන්සේට විගතරාගාදි මල ඇති සන්හුන් සිත් ඇති ලාභලාභාදියෙහි තාදී වූ ක්‍ෂීණාස්‍රවයන් සම්බන්‍ධි වූ ශ්‍රාවකසන්නිපාත තුනක් වූහ.
8. කෙළසියදහසක් රහතුන්ගේ ප්‍රථම සන්නිපාතය ද, කෙළදහසක්හු ගේ දෙවන සන්නිපාතය ද අනූකෙළක් රහතුන්ගේ තුන්වන සන්නිපාතය ද වී.
9. මම් එසමයෙහි විජිතාවී නම් සක්විතිරජ වීමි. මම් සක්වළගල හිමි කොට ඇති මහසයුර ඇතුළු කොට ආධිපත්‍යය පැවැත්වීමි.
10. ලෝකාග්‍රනාථ වූ සර්‍වඥයන් වහන්සේ සමග මහර්ෂී වූ කෙළසියදහසක් රහතුන් වහන්සේ මධුර වූ ආහාරයෙන් සන්තර්‍පණය කෙළෙමි.
11. ලෝකනායක වූ ඒ කොණ්ඩඤ්ඤ බුදුරජාණන් වහන්සේ ද මෙයින් අපරිමේය කල්පයෙහි (මේ තෙමේ) ලොවැ බුදුවන්නේ යයි මට විවරණ දුන් සේක.
12. එකල්හි තථාගත වූ මේ තෙම කපිල නම් මූ මනරම් නුවරින් නික්ම ප්‍රධන් වීර්‍ය්‍ය වඩා දුෂ්කරක්‍රියා කොට–
13. තථාගත වූ බෝසත් අජපල් නම් රුක්මුලැ හිඳ එහි දී කිරිපිඬු පිළිගෙන නිල්දලා ගංතෙරට එළැඹෙන්නේ ය–
14. ඒ ජිතපඤ්චමාරයෝ නිල්දලා ගංතෙර හිඳ පායාසය වළඳා දෙවියන් සැරැසූ උතුම් මඟින් බොධිමූලයට පැමිණෙන්නාහ.
15. ඉක්බිති අනුත්තර වූ බෝසත් බෝමැඩ පැදකුණු කොට මහායශස් ඇතියේ ඇසතු රුක්මුලැ හිඳ බුදුවන්නේ යැ.
16. මොවුන්ගේ ජනික මවු තොමෝ මායා වන්නී ය, පිය තෙමේ සුද්ධෝදන නම් වන්නේ ය. මේ තෙමේ ගෞතම නම් වන්නේ ය–
17. කෝලිත යැ උපතිස්ස යැ යන දෙදෙන අග්‍රශ්‍රාවක වන්නාහ. ආනන්‍ද නම් උපස්ථායක තෙමේ ඒ බුදුන් උපස්ථාන කරන්නේ යැ–
18. ඛේමා යැ උප්පලවණ්ණා යැ යන අග්‍රශ්‍රාවිකාවෝ වන්නාහ, ඒ භාග්‍යවත්හු ගේ බෝධිය අස්සත්‍ථ යයි කියනු ලැබේ–
19. චිත්ත යැ හත්‍ථාළවක යැ යන දෙදෙන අග්‍ර–උපස්ථායක වන්නාහ, උත්තරා යැ නන්‍දමාතා යැ යන දෙදෙන අග්‍ර– උපස්ථායිකා වන්නාහ, ඒ ගෞතම යශස්වීන්ට හවුරුදු සියයක් ආයු වන්නේ යයි.
20. අසම වූ ඒ කොණ්ඩඤ්ඤ මහර්ෂීන්ගේ මෙ වදන් අසා දේවමනුෂ්‍යයෝ මේ තෙමේ බුද්ධබීජාඞ්කුරයෙකැ’යි සතුටු වූවාහු.–
21. ඔල්වරසන් පැවැත්වූහ, අත්පොළසන් දුන්හ, සිනහසුනාහ. දසදහසක් සක්වළ දෙවියන් සහිත වූවාහු කළ ඇඳිලි ඇති ව නමස්කාර කළහ.
22. ඉදින් මේ ලෝකනාථයන් වහන්සේගේ ශාසනය වරදමෝ නම්, අනාගතකාලයෙහි මොවුන් වහන්සේ හමු වන්නම්හ–