3. මඞ්ගල බුද්ධවංශය
1. කොණ්ඩඤ්ඤ නම් සම්මාසම්බුදුනට මෑත භාගයෙහි මඞ්ගල නම් බුදුහු ලොව අවිඅඳුර නසා දහම් නැමැති දඬවැටපහන දැරූහ.
2. අන් බුදුවරුන් කෙරෙන් අධිකව ඒ මඞ්ගල බුදුන්ගේ අසදෘස වූ ප්රභායෙක් විය. සඳහිරු කැලුම් නසා දසදහසක් සක්වළ බැබැළවී.
3. ඒ බුදුහු ද ඉතා උතුම් සතර සත්යයන් ප්රකාශ කළ සේක. දිව්යමනුෂ්යාදි ඒ ඒ සත්ත්වයෝ සත්යරසය පානය කොට අවිද්යාන්ධකාරය දුරු කෙරෙති.
4. අතුල වූ සම්බෝධියට පැමිණ කළ ප්රථම ධර්මදේශනායෙහි දී කෙළලක්ෂයක් සත්ත්වයනට ප්රථමාභිසමය වී යැ.
5. සර්වඥයන් වහන්සේ ශක්රභවනයෙහි දී දහම් දෙසූසේක. නවකෙළදහසක් ප්රාණීන්ට දෙවැනි වූ ධර්මාභිසමය වී යැ.
6. යම් කලෙක සුනන්ද නම් සක්විති රජ සම්බුදුන් කරා එළඹියේ ද එකල්හි සම්බුදු වූ භාග්යවතුන් වහන්සේ උතුම් වූ දහම්බෙරය පහළාහ.
7. එකල්හි සුනන්ද සක්විතිහට පරිවාරජනතාව අනූදහසක් විය. එ හැමදෙන නිරවශේෂ වැ ඒහිභික්ෂූ වූහ.
8. මඞ්ගල සම්මාසම්බුදුනට ශ්රාවකසන්නිපාතයෝ තිදෙනෙක් වූහ. කෙළලක්ෂයක් ශ්රාවකයන්ගේ ප්රථම සන්නිපාතය විය.
9. ද්වීතිය සන්නිපාතය කෙළදහසක් ශ්රාවකයන්ගේ ද තෘතීය සන්නිපාතය අනූකෝටියක් ශ්රාවකයන්ගේ දැ යි එකල්හි පහවූ රාගාදිමල ඇති රහතුන්ගේ සමාගමය වී යැ.
10. එසමයෙහි මම් සුරුචි නම් බ්රාහ්මණ වැ මන්ත්ර හදාරවනුයෙම් මන්ත්ර ධරනුයෙම් ත්රිවේදයෙහි පාරප්රාප්ත වූයෙම් වීමි.
11. මම් ඒ මඞ්ගල බුදුන් කරා එළැඹ බුදුන් සරණ ගොස් බුදුපාමොක් මහසඟන ගඳින් මලින් පිදුයෙමි. ගඳින් මලින් පුදා ගවපාන භොජනයෙන් සැතැපීමි.
12. ද්වීපදෝත්තම වූ ඒ මඞ්ගල බුදුහු ද මෙයින් අප්රමේය වූ කල්පයෙහි මේ තෙම බුදු වන්නේ යයි මා ප්රකාශ කළහ.
13. එකල්හි තථාගත වූ මේ තෙම කපිල නම් වූ සිත්කලු පුරයෙන් නික්ම ප්රධන්වීර්ය්යය වඩා දුෂ්කරක්රියා කොට–
14. තථාගත තෙම අජපල් නම් රුක්මුල්හි හිඳ එහි දී කිරිපිඬු පිළිගෙන නිල්දලා හෝතෙරට එළැඹෙයි.
15. ඒ ජිතපඤ්චමාර තෙම නිල්දලාහෝතෙර හිඳ කිරිපිඬු වළඳා (දෙවියන්) පිළියෙළ කළ උත්තමමාර්ගයෙන් ඇසතු බෝරුක වෙත එළැඹෙයි.
16. ඉක්බිති ඒ අනුත්තර වූ බෝසත් බෝමැඩ පැදකුණු කොට මහායශස් ඇතියේ ඇසැතුරුක්මුල්හි හිඳ බුදුවන්නේ යැ.
17. මොවුන්ගේ ජනිකමව් තොමෝ මායා වන්නී යැ ජනක පිය තෙමේ ශුද්ධෝදන නම් වන්නේ යැ. මේ තෙමේ ගෞතම නම් වන්නේ යි.
18. කෝලිත ද උපතිස්ස ද යන දෙදෙන අග්රශ්රාවක වන්නාහ, ආනන්ද නම් උපස්ථායකයෙක් ඒ ජිතපඤ්චමාරයනට උපස්ථාන කෙරෙයි.
19. ඛේමා ද උප්පලවණ්ණා ද යන දෙදෙන අග්රශාවිකා වන්නාහ. ඒ භාග්යවතුන්ගේ බෝධිය ඇසැතු යයි කියනු ලැබේ.
20. චිත්ත යැ හත්ථාළවක යැ යන මොහු අග උවටු වෙති. උත්තරා යැ නන්දමාතා යැ යන මොහු අගඋවට වෙත්. යශස් ඇති ඒ ගෞතම බුදුනට හවුරුදු සියයෙක් ආයු වෙයි.
21. අසම වූ මහර්ෂීන්ගේ මෙවදන් අසා ‘මේ තෙම බුද්ධබීජාඞ්කුරයෙකැ’යි දෙවිමිනිස්සු සතුටු වූවාහු–