1. දීපඞ්කර බුද්ධවංශය
1. එකල්හි ඒ රඹගම් වැසියෝ සඞ්ඝයා සහිත වූ ලෝකනායකයන් වහන්සේ වළඳවා ඒ දිවකුරු බුදුන් සරණ ගියාහු ය.
2. තථාගතයන් වහන්සේ කිසිවක්හු සරණාගමනයෙහි ද, කිසිවක්හු පන්සිල්හි ද, සමහරුන් දශවිධ ශීලයෙහි ද, පිහිටුවූහ.
3. ඒ දිවකුරු බුදුහු කිසිවක්හට සතර ශ්රාමණ්ය සඞ්ඛ්යාත මාර්ගය ද, උතුම් වූ සතර ආර්ය්යඵලය ද දුන්හ, කිසිවක්හට අසම වූ සිව්පිළිසැඹියා දහම් දුන්හ.
4. නරශ්රේෂ්ඨ වු සර්වඥයන් වහන්සේ කිසිවක්හට උතුම් වූ අටසමවත් දුන්හ. කිසිවක්හට ත්රිවිද්යා ද ෂඩභිඥාවන් ද දුන්හ.
5. ඒ මහාමුනි වු සර්වඥයන් වහන්සේ ඒ නයින් ජනසමූහයාට අවවාද කළහ. ඒ අවවාදයෙන් ලෝකනාථයන් වහන්සේගේ ශාසනය පතළේ වී.
6. මහත් වූ (සිංහසදෘස වූ පිරිපුන්) හනු ඇති වෘෂභසදෘස වූ (සමවෘත්ත මනෝඥ) ස්කන්ධ ඇති දීපඞ්කර නම් වූ සර්වඥයන් වහන්සේ (බුද්ධ වෛනෙය වූ) බොහෝ ජනයන් (සසරින්) තැරැවූහ. දුගතයෙන් මුදාලූහ.
7. මහාමුනි වූ සර්වඥයන් වහන්සේ සියදහස්යොදුන්හි පවා සිටි සත්යාවබෝධයට නිසි වූ ප්රජාව දැක ඇසිල්ලෙකින් සමීපයට එළැඹ ඒ ප්රජාවට සත්යාවබෝධය කැරැවූහ.
8. දීපඞ්කර බුදුරජාණන් වහන්සේ ප්රථමධර්මාභිසමයෙහි කෙළසියක් සත්නට සත්යාවබෝධය කැරැවූහ. ලෝකස්වාමී වූ බුදුහු ද්විතීය ධර්මාභිසමයෙහි (නාරදකූටයෙහි දී) අනූකෙළක් සත්නට සත්යාවබෝධය කැරැවූහ.
9. තවද යම් කලෙක බුදුහු දේවභවනයෙහි වැඩසිට දහම් දෙසූසේක් ද ( එකල්හි) අනූකෙළදහසක් සත්නට තුන්වැනි ධර්මාභිසමය වී.
10. දීපඞ්කර ශාස්තෲන් වහන්සේට තුන් ශ්රාවකසන්නිපාතයෙක් වී, කෙළසියදහසක් ශ්රාවකයන්ගේ ප්රථම සමාගමය වී.
11. යලි ජිතපඤ්චමාර වූ සර්වඥයන් වහන්සේ නාරදකූටයෙහි විවෙක සඳහා වැඩි කල්හි විගත වූ (රාගාදි) මල ඇති සියකෙළක් රහත්හු රැස්වූහ.
12. මහාවීර වූ සර්වඥයන් වහන්සේ යම් කලෙක්හි සුදර්ශනකූටයෙහි විසූ සේක් ද, (එකල්හි) මහාමුනි වූ බුදුහු අනූකෙළදහසක් (භික්ෂූන්) සමග පවාරණය කළ සේක.
13. (මම් එ සමයෙහි දළමඬුලු ඇති උග්ර වූ තපස් ඇති අහස්හි හැසිරෙනසුලු පඤ්චාභිඥාවන්හි තෙරපත් තවුස් වීමි.)
14. දස – විසිදහසුන්ගේ ද ධර්මාභිසමය විය. එක්–දෙ–(තුන්) දෙනකුන්ගේ අභිසමය ගණන් විසින් නො ගිණිය හැක්ක.
15. එකල්හි දීපඞ්කර භාග්යවතුන් වහන්සේගේ ශාසනය (එ බුදුන් විසින්) මොනොවට විශෝධිත වූයේ මහත්ත්වයට පැමිණියේ බොහෝ දේවමනුෂ්යයන් විසින් නෛර්ය්යාණිකත්වයෙන් දන්නා ලදුයේ (අධිශීලශික්ෂාදියෙන්) සමෘද්ධ වූයේ (ස්මෘති සමාධි ආදියෙන්) වැඩුණේ ද වී.
16. ෂඩභිඥ වූ මහත් ඍද්ධි ඇති සාරලක්ෂයක් ක්ෂීණාස්රව භික්ෂූහු හැම කල්හි දීපඞ්කර බුදුන් පිරිවරා වෙසෙත්,
17. එසමයෙහි යම් කිසි කෙනෙක් නොපත් අර්හත්වය ඇති වැ ශෛක්ෂ වූවාහු මිනිස් බව පියත් ද, ඔහු ගර්හිත වූවාහු මැ වෙත්.
18. (අභිඥා කුසුමයෙන්) සුපිපි ප්රවචනශාසනය ලෝදහම්හි තාදී වූ ක්ෂීණාස්රව වූ විගත රාගාදි මල ඇති රහතුන් විසින් හැම කල්හි සෝභිත වී.
19. දීපඞ්කර ශාස්තෲන් වහන්සේ ගේ ජාතනගරය රම්මවතී නම් විය, ක්ෂත්රිය වූ සුදේව නම් රජ පිතෘ විය. මවු තොමෝ සුමේධා නම් වූ.
20. ඒ බුදුහු දසදහසක් හවුරුදු ගිහිගෙයි විසූහ. හංසා යැ කොඤ්චා යැ මයූරා යැ යි උත්තම වූ තුන් ප්රාසාදයෝ වූහ.
21. මොනොවට සැරැසුණු තුන් ලක්ෂයක් පරිවාර ස්ත්රීහු වූහ, පදුමා නම් ප්රසිද්ධ අගබිසෝ වූ උසභක්ඛන්ධ නම් කුමාර පුත්ර වී.
22. ජින වූ දීපඞ්කර බුදුහු සතර පෙර නිමිති දැක ඇත් යානයෙන් අභිනිෂ්ක්රමණ කළහ. අනූන වූ දසමසක් මුළුල්ලෙහි ප්රධන්වීර්ය්යය කළහ.