බුද්ධ ප්රකීර්ණක කාණ්ඩය
1. මෙයින් පෙර අප්රමේය කල්පයෙහි තණ්හඞ්කර යැ මේධඞ්කර යැ යළි සරණඞ්කර යැ දීපඞ්කර යැ යන ඒ පස්මරුන් දිනූ සතර බුදුවරයෝ වූහ.
2. දීපඞ්කරබුදුන්ට මෑත භාගයෙහි කෞණ්ඩින්ය නම් වූ එක් මැ ලෝකනායකයන් වහන්සේ එක් කපෙකැ බොහෝ ජනසමූහයා සසරින් එතෙර කරවූ සේක.
3. දීපඞ්කර භාග්යවතුන් වහන්සේට ද කෞණ්ඩින්ය ශාස්තෲන් වහන්සේට ද යන මේ බුදුවරයන්ට අතුරු කල්පයෝ ගණනින් අසඞ්ඛ්ය වූහ.
4. කොණ්ඩඤ්ඤ බුදුන්ට මෑතභාගයෙහි මඞ්ගල නම් ලෝකනායකයන්වහන්සේ ලොවැ පහළ වූහ. ඒ බුදුවරයන්ට ද අන්තරකල්පයෝ ගණනින් අසඞ්ඛ්ය වූහ.
5. මඞ්ගල යැ සුමන යැ රේවත යැ සෝභිත යැ යන චක්ෂුර්මත් වූ ප්රභාකර වූ ඒ බුදුවරයෝ ද එක් කපෙකැ පහළ වූහ.
6. සෝභිත නම් බුදුන්ට මෑත භාගයෙහි මහායශස්ක වූ අනෝමදස්සී නම් බුදුහු ලො වැ පහළ වූහ. ඒ බුදුවරයනට ද අන්තරකල්පයෝ ගණනින් අසඞ්ඛ්ය වූහ.
7. අනවමදර්ශී යැ පදුම යැ නාරද යැ යන ලෝකනායක වූ කෙලෙස් අඳුරු දුරු කළ ඒ තුන් බුද්ධමුනිහු ද එක් කපෙකැ පහළ වූහ.
8. නාරද බුදුන්ට මෑත භාගයෙහි පදුමුත්තර නම් ලෝකනායකයන් වහන්සේ එක් කපෙකැ උපන්සේක් බොහෝ ජනතාව සසරින් තැරැවූහ.
9. නාරද භාග්යවතුන් වහන්සේට ද පදුමුත්තර ශාස්තෲන් වහන්සේට ද යන ඒ බුදුවරයන්ට අන්තරකල්පයෝ ගණනින් අසඞ්ඛ්ය වූහ.
10. මෙයින් ලක්ෂයක් වන කල්පයෙහි ආගන්තුකසත්කාරයන් පිළි ගන්නා වූ මහාමුනි වූ පදුමුත්තර නම් එක් සර්වඥ කෙනෙක් පහළ වූහ.
11. මෙයින් පෙර තිස්දහස් වන කල්පයෙහි පියුමතුරා බුදුන්ට මෑත භාගයෙහි සුමේධ යැ. සුජාත යැ යන බුදුවරයෝ දෙදෙනෙක් පහළ වූහ.
12. සුජාත බුදුන්ට මෑතභාගයෙහි අටළොස් වන කප්සියෙහි පියදස්සී යැ අත්ථදස්සී යැ ධම්මදස්සී බුදුහු යැ යන සම්බුද්ධ වූ ද්විපදෝත්තම වූ තුන් විනායකයන් වහන්සේ ලොවැ පහළවූහ.
13. මෙයින් සිවුඅනූ වන කප්හි (කෙලෙස් ගඬ පැළීමෙහි) ශල්යකර්තෘ වූ අනුත්තර වූ ලෝකවිදූ වූ ඒ එක් මැ සිද්ධාර්ත්ථ නම් බුදුහු ලොවැ පහළවූහ.
14. මෙයින් දෙයානූවන කප්හි විනේදනන් විනයනය කරන තිස්ස යැ ඵුස්ස යැ යන අසම වූ අප්රතිපුද්ගල වූ සම්බුදුවරු දෙදෙනෙක් වූහ.
15. මෙයින් එකානූවන කප්හි විපස්සී නම් ලෝකනායකයන් වහන්සේ ලොව පහළවූහ. කාරුණික වූ ඒ බුදුහු ද සත්ත්වයන් සංසාර බන්ධනයෙන් මුදාලූ සේක.
16. මෙයින් එක්තිස් වන කප්හි විනායක වූ සිඛී යැ වෙස්සභූ යැ යන අසම වූ අප්රතිපුද්ගල වූ බුදුවරු දෙදෙනෙක් ලොවැ පහළ වූහ.
17. මේ මහාභද්රකල්පයෙහි කකුසන්ධ යැ කෝණාගමන යැ කාශ්යප ලෝකනායකයන් වහන්සේ යැ යි තුන් බුදු කෙනෙක් වූහ. මම් මෙකල්හි සම්බුද්ධයෙමි. අනාගතයෙහි මෛත්රෙය නම් බුදු කෙනෙක් ද ලොවැ පහළ වන්නාහ.
18. තෙල පස්බුදුවරු ද ධීරයහ, ලොවට අනුකම්පා ඇතියහ, උන් වහන්සේ මේ ධර්මරාජයන්ගේ ද අන්ය වූ නොයෙක් කෙළගණන් බුදුවරයන්ගේ ද ඒ නිර්ය්යාණමාර්ගය ප්රකාශ කොට ශ්රාවකයන් සහිත වැ පිරිනිවියාහ යි.
බුද්ධප්රකීර්ණක කාණ්ඩය නිමියේ යි.