2. 2 සලලපුෂ්පිකාපදානය
151. (පෙරැ) මම චන්ද්රභාගා නදීතීරයෙහි කිඳුරියක් වූමු. එකලැ දෙවියන්ට දෙවි වූ නරශ්රේෂ්ඨ වූ බුදුරජාණන් වහන්සේ සක්මන් කරනු දුටුමු.
152. මම් සලල මල් නෙලා “මහාවීරයන් වහන්ස, දිව්යමය සුවඳැති සලල මල් සුඹුනා සේක්ව” යි බුද්ධශ්රේෂ්ඨයන් වහන්සේට දුන්මු.
153. එවිට මහාවීර වූ ලෝකනායක විපස්සී සම්බුදුරජාණන් මා බලා සිටිය දී මැ (එමල් ) සිඹ වදාළසේකැ.
154. ද්විපදෝත්තම බුදුරදුන් ඇඳිලි බැඳ වැඳ සිය සිත පහදවා ගෙන එතැනින් නික්මැ පර්වතයට නැගුණමු.
155. මෙයින් එක්අනූවන කප්හි යම් මලක් (පූජා විසින්) දිනිම් ද, (එ පිනෙන්) දුගතිය නො දනිමි. පුෂ්පපූජායෙහි මේ ඵල යි.
156. මා විසින් කෙලෙස්හු දවන ලදහ ... අනාස්රව වැ වාස කෙරෙමි.
157. මට යහපතක් වියැ ... බුදුසසුන් කරන ලද යැ.
158. සිවුපිළිසිඹියා ද ... බුදුසසුන් කරන ලදී.
මෙ සෙයින් සලලපුෂ්පිකා මෙහෙණ මේ ගාථා පැවැසූ යැ.
දෙවැනි සලලපුෂ්පිකා ස්ථවිරීඅපදාන යි.
2. 3 මෝදකදායිකාපදානය
159. මම බන්ධුමතී නගරයෙහි කළදැස්සක් වූමු. දිය අදනා මම මගේ (අහර) කොටස රැගෙන (දිය අදනට) ගියමු.
160. මගැ (වඩනා) ශාන්ත සිත් ඇති සන්හුන්ගමන් ඇති මහණ කෙනකුන් දැක මම් පහන් සිතැති වැ සොම්නස් වැ මෝදක (-රසකැවිලි) තුනක් ඔබට දුන්මු.
161. ඒ කුශලකර්මහේතුයෙන් ද, චේතනාප්රණිධියෙන් ද මම එක්අනු කපක් මුළුල්ලෙහි දුගතියකට (උපත් විසින්) නො ගියමු.
162. ම ඒ කුශලය කොට සියලු සැපත් අනුභව කරමි. මම් මෝදක තුනක් දන් දී අචලපදය වූ නිවනට පැමිණියා වෙමි.
163-165. මා විසින් කෙලෙස්හු දවන ලදහ ... බුදුසසුන් කරන ලදි.
මෙසේ මෝදකදායිකා මෙහෙණ මේ ගාථා පැවසූ යැ.
තෙවැනි මෝදකදායිකා ස්ථවිරාපදාන යි.
2. 4 ඒකාසනදායිකාපදානය
166. එක්කලෙක මම් හංසවතී නගරයෙහි බාලිකාවක් වූමු. මාගේ මවත් පියාත් කර්මාන්තස්ථානයට ගියාහු යැ.
167. හිර මුදුන් සමයෙහි වීථියෙහි වඩනා මහණ කෙනෙකුන් මම දුටුමු. (මම් ඔබට හිඳුනා සඳහා) අස්නක් පැනවූමු.
168. මම කොඳුපලස්, විසිතුරු එළුලොම් ඇතිරි, ආදියෙන් අසුනක් පනවා පහන් සිත් ඇති වැ සොම්නස් වැ මෙ වදන් කීමි.
169. පොළොව රත්වී ඇත, ක්වථිත (-කැකෑරුණාක් මෙන්) යැ, හිර මධ්යාහ්නයෙහි සිටියේ යැ, සුළං ද නො හමයි, වළඳනා කාලය ද එළැඹැ සිටියේ යැ.
170. (මම් මෙසේ කීමි.) “මහාමුනිතුමනි, මෙ අස්න ඔබ සඳහා පනවන ලද යැ, මාගේ අස්නෙහි අනුකම්පා කොට වැඩ හිඳිනු මැනැවි.”
171. මොනොවට දැමුණු පිරිසිදු මනස් ඇති ශ්රමණයන් වහන්සේ එහි වැඩහුන්හ. ඔබගේ පාත්රය ගෙන මම (අහරින්) පුරවා දුන්මු.
172. ඒ කුසලකර්මයෙන් ද, චේතනාප්රණිධියෙන් ද, මිනිස් කය හැරපියා තව්තිසා දෙව්ලොවැ උපන්මු.
173. එහි මට විමනක් කරන ලදි. (එය) අස්නෙන් යුතු කොට මොනොවට නිමවන ලද යැ. සැට යොත්නක් උස් යැ, පනස් යොත්නක් පුළුල් යැ.