1. 8 සත්තුප්පලමාලිකා අපදානය
71. අරුණවතී නගරයෙහි අරුණවත් නම් රජෙක් වියැ. මම එරජහට භාර්ය්යා වූමු. ඉඳුරන් පිනවීමෙහි ලා (රජු) මෙහෙයවා ලූමු.
72. එකල්හි දෙව්සුවඳවහන උපුල්මල්දම් සතක් ගෙන උතුම් පහා මතුයෙහි හිඳ මෙසේ සිතුමු.
73. “මෙ මල්දම් (මා) හිසෙහි පළඳවාලීමෙන් මට කවර නම් වැඩෙක් ද? (මෙය) බුද්ධශ්රේෂ්ඨයන් වහන්සේගේ ඥාන (ශීර්ෂ) යෙහි අභිරෝපණය කරන ලද්දේ වඩා ලා මට උතුම් වෙයි.
74. යම් විටෙකැ සම්බුදුරජාණන් වහන්සේ වඩනා සේක් ද, එවිටැ (ඒ සිඛී) මහාමුනීන්ද්රයන් වහන්සේ පුදන්නෙමි” යි මම් සම්බුදුරදුන් බුහුමන් සහිත වැ අපේක්ෂා කෙරෙමින් දොර වෙතැ හුන්නමු.
75. දිලිසෙන පර්වතකූටයක් සෙයින්, කේශර සිංහරාජයකු සෙයින් ජිනේන්ද්රයන් වහන්සේ භික්ෂුසඞ්ඝයා සහිත වැ වීථියෙහි වැඩම කළසේක.
76. බුදුරැස් දැක හර්ෂ (සතුටු) වූයෙම්, සංවිග්නමනස් ඇතියෙම් දොර හැරපියා බුද්ධශ්රේෂ්ඨයන් වහන්සේ පිදුමු.
77. සත් උපුල්මල් අහස්කුසැ විසිරිණ. ඒ උපුල්හු සෙවෙණියක් කෙරෙමින් බුදුරදුන් මතුයෙහි ධරා සිටුනාහ.
78. ඔදවැඩි සිතැති සුමනස් වූ ප්රීතිමත් වූ කෘතාඤ්ජලී වූ මම් ඔබ කෙරෙහි සිත් පහදවා තව්තිසා දෙව්ලොව උපනුමු.
79. මා මුදුන්හි මහනෙල් සියනක් ධරත්. (මම්) දෙව්සුවඳ වහන කෙරෙමි. මෙ වනාහි සත් උපුලක් පිදීමේ විපාක යි.
80. කිසිවිටෙකැ නෑ සමූහයා විසින් ගෙන යනු ලබන මට යම් පමණ පිරිස් වේ ද, (එ පිරිස්) එකල්හි මට මහනෙල් ධරනු ලැබෙයි.
81. සැත්තෑවක් දෙව්රජුනට මෙහෙසිබව කරවූමු. (මෙසේ) සියලු තන්හි ඉසුරු වැ කුදුමහත් බෙවෙහි හැසිරෙමි.
82. තෙසැටක් සක්විතිරජුනට මෙහෙසිබව කරවූමු. සියල්ලෝ මා අනු වැ වැටෙති, (මම්) හැදහියයුතු වදන් ඇතිවූමු.
83. මාගේ පැහැය උපුලක පැහැය මෙන් වෙයි. (උපුල්) සුවඳ (මගේ කයින්) හමා යෙයි. දුර්වර්ණ බවක් නො දනිමි. මේ බුද්ධ පූජායෙහි විපාක යි.
84. ඍද්ධිපාදයන්හි නිපුණ වෙමි. බෝධ්යඞ්ගභාවනායෙහි ඇලුනෙම් අභිඥාපාරයට පැමිණියෙම් (ද) වෙමි. මේ වූකලී බුද්ධපූජායෙහි විපාක යි.
85. සතිපට්ඨානයෙහි දක්ෂ වෙමි. සමාධි-ධ්යාන ගෝචර කොට ඇත්තෙමි. සම්යක්ප්රධන්හි පුන පුනා යෙදුණමු. මේ වනාහි බුද්ධ පූජායෙහි ඵල යි.
86. මාගේ වීර්ය්ය (යෝගක්ෂේමසංඛ්යාත නිවනට පමුණුවන) ධුරවාහක (ගැල අදනා) ගවයා යි, (මාගේ) සියලු ආස්රවයෝ ගෙවී ගියහ, දැන් (මට) පුනර්භවයෙක් නැති.
87. මෙයින් එක්තිස්වන කප්හි යම් කුශල කර්මයක් කළමු ද, (එ හේතුයෙන්) දුගතිය නො දන්මි, මේ වූකලී පුෂ්පදානයාගේ ඵල යි.
88-90. මා විසින් කෙලෙස්හු දවන ලදහ ... බුදුසසුන් කරන ලදි.
මෙසෙයින් සත්තුප්පලමාලිකා මෙහෙණි මේ ගාථා පැවසූ යැ.
අටවැනි සත්තුප්පලමාලිකා ස්ථවිරීඅපදාන යි.