83. නිපන්නඤ්ජලිය ස්ථවිරාවදානය
1512. මම (රුක්ඛමූලිකඞ්ගය සමාදන් ව) රුක්මුල්හි හුන්නෙම් තදින් රෝගී වූයෙම් මහවෙනෙහි අතිශය දුඃඛිතභාවයට පත්වූයෙම් වෙමි.
1513. තිස්ස බුදුරජානන් වහන්සේ අනුකම්පා උපදවා මා වෙත එළඹිසේක. මම වැදහොත්තේ ම සිරසෙහි ඇඳිලි කොට-
1514. පහන්සිත් ඇත්තෙම් සොම්නස් සහිත වූයෙම් සියලු සත්නට උතුම් වූ බුදුරජානන් වහන්සේ වැඳ මම එහි කලුරිය කෙළෙමි.
1515. මෙයින් දෙයානූවන කපෙහි යම් පුරුෂෝත්තම වූ සර්‍වඥ කෙනෙකුන් වැන්දෙම් ද, ඒ හේතුවෙන් දුගතියක් නො දනිමි. බුද්ධවන්‍දනාවෙහි මේ විපාකය යි
1516. මෙයින් පස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති මහාසිඛ නම් වූ සක්විතිරජවරු පස්දෙනෙක් වූහ.
1517. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙසේ මේ අයුරින් ආයුෂ්මත් නිපන්නඤ්ජලිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.
නිපන්නඤ්ජලිය ස්ථවිරාවදානය තෙවැනි යි.
84. අධෝපුප්ථීය ස්ථවිරාවදානය
1518. සිඛී බුදුරජානන් වහන්සේගේ අග්‍රශ්‍රාවක වූ මහානුභාව ඇති ත්‍රිවිද්‍යාවෙන් යුත් අභිභූ නම් ප්‍රසිද්ධ භික්‍ෂු තෙමේ හිමවතට එළඹියේ ය.
1519. එකල්හි මම අප්‍රාමාණ්‍ය ආලම්බනයන් හි ද ඍද්ධින්හි ද වශීප්‍රාප්ත ඍෂියෙක් වූයෙම් රමණීය අසපුවක වසමි.
1520. මම (උන්වහන්සේ විසූ) කඳු පහලින් මල් ගෙණ පැමිණියෙමි. (පැමිණ) අහසෙහි පක්‍ෂියෙකු මෙන් පර්‍වතයට නැංගෙමි.
1521. මල් සතක් ගෙණ මම (උන්වහන්සේගේ) මස්තකයෙහි විසිර වීමි. වීර වූ අභිභූ ශ්‍රාවකයන් වහන්සේ විසින් (ඒ දෙස) බලන ලද කල්හි (මම) පෙරදිගට මුහුණ ලා ගියෙමි.
1522. (ගොස් මාගේ) ආවාසයට පැමිණියෙමි. ආශ්‍රමයට පැමිණ මම පිරිකරබර ගෙණ කඳු අතරට ගියෙමි.
1523. (එහි දී) ඝෝරස්වරූප වූ මහත් බල ඇති පිඹුරෙක් මා පෙළී ය. පෙර කළ (ඒ පුෂ්පපූජා) පුණ්‍යකර්‍මය සිහි කොට මම එහි ම කලුරිය කෙළෙමි.
1524. මෙයින් එක්තිස්වන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පුෂ්පපූජාවෙහි මේ විපාකය යි.
1525. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්ස්ගේ සසුන කරණ ල දී.
මෙසේ මේ අයුරින් ආයුෂ්මත් අධෝපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.
අධෝපුප්ඵිය ස්ථවිරාවදානය සිවුවැනි යි.