74. භිසාලුවදායක ස්ථවිරාවදානය
1435. මම මහවනයට පිවිස (එම) වනයෙහි වසමි. ලෝවැසියන්ගේ පූජාවන් පිළිගන්නා වූ නොහොත් පූජාවට ගෙයක් වැනි වූ විපස්සී බුදුරජානන් වහන්සේ දිටිමි.
1436. (උන්වහන්සේට) අත දෝනා දිය ද නෙළුඹල ද පිදීමි. (ඉක්බිති) හිස නමා (උන්වහන්සේගේ) ශ්රීපාදයන් වැඳ උතුරුදිගට මුහුණ ලා ගියෙමි.
1437. මෙයින් එක්අනූවන කපෙහි වූ එකල්හි නෙළුඹල දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. මේ ඒ පුණ්යකර්මයාගේ විපාකය යි.
1438. මෙයින් තෙවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති භිස නම් සක්විති රජෙක් විය (=වීමි).
1439. ප්රතිසම්භිදාවෝ -පෙ- බුදුරජාන්න වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් භිසාලුවදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.
භිසාලුවදායකස්ථවිරාවදානය සිවුවැනියි.
75. ඒකසඤ්ඤක ස්ථවිරාවදානය
1440. විපස්සී බුදුරජානන් වහන්සේගේ නමින් ඛණ්ඩ නම් වූ අග්රශ්රාවකයෙක් විය. ලෝකයාගේ පූජාවන් පිළිගැනීමට සුදුසු (දක්ෂිණාර්හ) වූ උන්වහන්සේ කෙරෙහි මා විසින් එක භික්ෂාවක් දෙනලදී.
1441. ද්විපදෝත්තම වූ නරශ්රේෂ්ඨයන් වහන්සේ කෙරෙහි වූ ඒ චිත්තප්රසාදය හේතු කොට ගෙණ දුගතියක් නො දනිමි. එක භික්ෂාවෙහි මේ විපාකය යි.
1442. මෙයින් සතළිස්වන කපෙහි සත්රුවනින් යුත් වූ මහත් බල ඇති වරුණ නම් සක්විති රජෙක් විය (=වීමි).
1443. ප්රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඒකසඤ්ඤක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.
ඒකසඤ්ඤකස්ථවිරාවදානය පස්වැනියි.
76. තිණසන්ථරදායක ස්ථවිරාවදානය
1444. හිමවතට නුදුරු තන්හි පියුම්මලින් ගැවසීගත් නානා පක්ෂින්හට වාසස්ථාන වූ මහාජාතස්සරයක් (ඉබේ හට ගත් මහවිලක්) විය.
1445. මම (තවුසෙක්ව) ඒ විලෙහි නා පැන් බී (විලට) නුදුරු තන්හි වසමි. (එහි දී) අහස්මගෙහි යන ශ්රමණයනට අග්ර වූ බුදුරජානන් වහන්සේ දිටිමි.
1446. ලෝකයෙහි නිරුත්තර වූ ශාස්තෲන් වහන්සේ මාගේ අදහස දැන අහසින් බැස එකෙණෙහි භූමියෙහි වැඩසිටි සේක.
1447. මම අඟකින් තෘණ (කපා) ගෙණ නිසීදනයක් (තණඇතිරියක් කොට) දිනිමි. තිස්ස බුදුරජානන් වහන්සේ එහි වැඩහුන් සේක.
1448. සිය සිත පහදවා ලෝකනායක වූ බුදුන් වැන්දෙමි. (ඉක්බිති) මහාමුනීන් වහන්සේ සිහි කරමින් (සිරුරෙන්) හැකිළුනෙම් පසුබැස ගියෙමි.
1449. එම චිත්තප්රසාදය හේතු කොටගෙන මම නිර්මාණරති දෙව් ලොව උපනිමි. දුගතියක් නො දනිමි. මෙය තණඇතිරිය පිදීමේ විපාකයයි.
1450. මෙයින් දෙවැනි කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති මිග නම් සක්විතිරජෙක් විය.
1451. ප්රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් තිණ්ණසන්ථරදියක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.
තිණ්සන්ථරදායකස්ථවිරාවදානය සවැනියි.
77. සුචිදායක ස්ථවිරාවදානය
1452. තිස්දහස්වන කපෙහි උතුම් දෙතිස් මහපුරිස්ලකුණු ඇති නමින් සුමේධ නම් වූ ලෝකනායක වූ බුදුරජානන් වහන්සේ ලොව පහළ වූ සේක.
1453. තාදිගුණ ඇති කසුන්වන් වූ ද්විපදෙන්ද්ර වූ ඒ බුදුරජානන් වහන්සේ ට සිවුරු මසනු පිණිස මා විසින් හිදි (කටු) පසක් දෙනලදි.