68. අම්බදායක ස්ථවිරාවදානය
1401. හිමවත් පර්‍වතාන්තරයෙහි වැඩහුන් උපධිරහිත වූ අනෝමදස්සී බුදුරජතෙම අප්‍රමාණ වූ (සත්ත්‍ව) ලෝකයෙහි මෛත්‍රිය පැතිරවීය.
1402. එකල්හි මම උතුම් හිමවත් පව්වෙහි වඳුරෙක් වීමි. අලාමක වූ අපමණ ගුණ ඇති (උන්වහන්සේ) දැක ඒ බුදුරදුන් කෙරෙහි සිත පැහැදවීමි.
1403. එකල්හි හිමවතට නුදුරු තන්හි පලගත් අඹරුක් වූහ. එයින් අඹගෙඩියක් මීවදයක් සහිතව බුදුරජානන් වහන්සේට දිනිමි.
1404-1405. අනෝමදස්සී බුදුරජානන් වහන්සේ මට මෙසේ ප්‍රකාශ කළසේක: “මේ මීවද දානයෙන් ද අඹදානයෙන් ද යන දෙකින් මෙතෙම සත් පණස් කපක් මුළුල්ලෙහි දවේලොව සිත් අලවා වසන්නේ ය. සෙසු කල්පයන්හි (දිව්‍යමනුෂ්‍ය දෙගතියෙහි) මිශ්‍රවශයෙන් සැරිසරන්නේ ය.
1406. පිරිපැසුනු නුවණින් පව්කම් ගෙවා දුගතියකට නොගොස් කෙලෙස් දවන්නේ ය.” (කියායි.)
1407. මම මහර්ෂීන් වහන්සේ විසින් උත්තම වූ දමනයෙන් (රහත් බැවින්) දමනය කරණ ලදුයේ වෙමි. ජය පරාජය දෙක හැර නිශ්චලස්ථානයට (නිවණට) පැමිණියේ වෙම්.
1408. සත්දහස්සත්සියවන කපෙහි මහත් බල ඇති අම්බට්ඨ නම් වූ ඒ තුදුස් සක්විති රජවරු වූහ.
1409. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් අම්බදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.
අම්බදායකස්ථවිරාවදානය අටවැනියි.
69. සුමන ස්ථවිරාවදානය
1410. මම එකල්හි නමින් සුමන නම් වූ මල්කරුවෙක් වීමි. (ඒ මම) කෙලෙස් රජස් රහිත ලෝකයාගේ පූජාවන් පිළිගන්නාවූ නෙහොත් පූජාවනට ගෙයක් වැනි වූ සිඛී බුදුරජානන් වහන්සේ දිටිමි.
1411. දෝතින් උතුම් සමන් මල් ගෙණ සිඛී බුදුරජානන් වහන්සේට පිදීමි.
1412. මේ මල්පූජාව හේතු කොට ගෙණ ද චිත්තප්‍රණිධීන් (ප්‍රාර්‍ත්‍ථනාවන්) හේතු කොට ගෙණ ද දුගතියක් නො දනිමි. පුෂ්පපූජාවෙහි මේ විපාකය යි.
1413. මෙයින් එක්තිස්වන කපෙහි යම් මලක් පිදුයෙම් ද ඒ හේතුවෙන් දුගතියක් නො දනිමි. පුෂ්පපූජාවෙහි මේ විපාකය යි.
1414. සවිසිවන කපෙහි මහත් යශස් ඇති සත්රුවනින් යුත් සක්විතිරජවරු සිවුදෙනෙක් වූහ.
1415. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේ ගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සුමන ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.
සුමනස්ථවිරාවදානය නවවැනියි.
70. පුප්ඵචඞ්ගොටිය ස්ථවිරාවදානය
1416. උත්තම ජන්මවත් අභීත ස්වභාවය ඇති කේශර සිංහරාජයකු මෙන් ද, උතුම් ව්‍යාඝ්‍රයෙකු මෙන් ද, පක්‍ෂීන් අතුරෙහි ශ්‍රේෂ්ඨ වූ ගුරුළකු මෙන් ද,
1417-1418. කෙලෙස් රහිත වූ පස්මරුන් දිනුවා වූ ශ්‍රමණයනට අග්‍ර වූ භික්‍ෂුසංඝයා පිරිවරා හුන් තිලොවට පිළිසරණ වූ සිඛී බුදුරජානන් වහන්සේට උතුම් කටුකරඬු මල් ගොටුවක තබා ගොටුව ද සමග පිදීමි.
1419. ද්විපදෝත්තම වූ නරශ්‍රේෂ්ඨ බුදුරජාණන් වහන්සේ කෙරෙහි එම චිත්තප්‍රසාදය හේතු කොට ගෙණ ජයපරාජය දෙක ම (හැර) නිශ්චලස්ථානයට (නිවණට) පැමිණියේ වෙමි.
1420. මෙයින් එක්තිස්වන කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක ය යි.
1421. තිස්කපක් සම්පූර්‍ණ වූ කල්හි සත්රුවනින් යුත් දේවභූති නම් සක්විතිරජවරු පස්දෙනෙක් වූහ.
1422. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පුප්ඵවඞ්ගොටිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.
පුප්ඵචඞ්ගොටියස්ථවිරාවදානය දසවැනියි.