63. පච්චාගමනිය ස්ථවිරාවදානය
1361. මම එකල සින්‍ධූනදීතීරයෙහි හුදු සෙවෙල් අනුභව කරන්නා වූ පාපයන් කිරීමෙන් වැළකුනා වූ සක්වාලිහිණියෙක් වීමි.
1362. (එකල්හි) කෙලෙස්මල නැත්තා වූ අහස්මගෙහි ගමන් කරන්නා වූ බුදුරජු දිටිමි. (දැක) තුඩින් සල්මලක් ගෙනවුත් ඒ විපස්සී බුදුරජානන් වහන්සේට පිදීමි.
1363. “යමෙකුගේ ශ්‍රද්ධාතොමෝ තථාගතයන් වහන්සේ විෂයයෙහි නිශ්චල ව පිහිටියා ද, හෙතෙම ඒ චිත්තප්‍රසාදය හේතු කොට ගෙණ දුගතියකට නො යේ” යි (විපස්සී බුදුරජ තෙම වදාළේ ය.)
1364. ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ මනා පැමිණීමෙක් විය. (සක්වා) ලිහිණියෙකු වූ මා විසින් මනා (කුශල) බීජයක් රෝපණය කරනලදී.
1365. මෙයින් එක්අනූවන කපෙහි යම් මලක් පිදුයෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පුෂ්පපූජාවෙහි මේ විපාකය යි.
1366. සතළොස්වනකපෙහි සුවාරුදස්සන නම් එකනම ඇති මහාබලවත් වූ සක්විතිරජවරු අටදෙනෙක් වූහ.
1367. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පච්චාගමනියස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යී.
පච්චාගමනියස්ථවිරාවදානය තෙවැනියි.
64. පරප්පසාදක ස්ථවිරාවදානය
1368. ශ්‍රේෂ්ඨ වූ උතුම් වූ වීර වූ මහර්ෂි වූ කෙලෙස්සතුරන් ජය ගන්නාසුලු වූ ස්වර්‍ණවර්‍ණ වූ බුදුරජු දැක කවරෙක් (නම්) නො පහදී ද?
1369. ප්‍රමාණ කළ නො හැකි හිමවත්පව්ව යම්සේ ද, තරණය කළ නො හැකි සාගරය යම් සේ ද, බුදුරජානන් වහන්සේගේ ධ්‍යානය ද එසේ ම ය. (උන්වහන්සේ) දැක කවරෙක් (නම්) නො පහදී ද?
1370. විසිතුරු වන අරම් නමැති මුදුන්මල්කඩ ඇති පොළොව යම් සේ ප්‍රමාණ නො කට හැකි ද, බුදුරජානන් වහන්සේගේ ශීලය ද එසේ ම ය. (උන්වහන්සේ) දැක කවරෙක් නම් නො පහදී ද?
1371. නො කැලඹිය හැකි සයුර යම් සේ ද, පමණ කළ නො හැකි අහස යම් සේ ද, බුදුරජානන් වහන්සේගේ ඤාණය ද එසේ ම ය. (උන්වහන්සේ) දැක කවරෙක් නො පහදී ද?
1372. සේන නම් වු බ්‍රාහ්මණ තෙමේ මේ සිවු ගයින් පස්මරුන් දිනූ සිද්ධත්‍ථ නම් වූ බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේට ස්තූති කොට -
1373. සිවු අනූ කපක් මුළුල්ලෙහි දුගතියක නූපන්නේ ය. සුගතීන්හි බොහෝ වූ මනා සම්පත් අනුභව කෙළේ ය.
1374. මෙයින් සිවුඅනූවන කපෙහි ලෝකනායක වූ බුදුරජානන් වහන්සේ පසසා (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පැසසීමෙහි මේ විපාකය යි.
1375. තුදුස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති උග්ගත නම් වූ සක්විතිරජවරු සිවුදෙනෙක් වූහ.
1376. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පරප්පසාදක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.
පරප්පසාදකස්ථවිරාවදානය සිවුවැනියි.
65. භිසදායක ස්ථවිරාවදානය
1377. (එක් කපක වූ) බුදුවරයන් අතුරෙහි තෙවැන්නෙක් නමින් වෙස්සභූ නම් විය. පුරුෂෝත්තම වූ ඒ බුදුරජ තෙම මහවනයට පිවිස එහි විසී ය.
1378. නෙළුඹල ද නෙළුඹුදඬු ද ගෙණ බුදුරජානන් වහන්සේගේ සමීපයට ගියෙමි. පහන් වූයෙම් සියසොඬින් එය බුදුරජානන් වහන්සේට පිදීමි.
1379. උතුම් නුවණැති වෙස්සභූ බුදුරජානන් වහන්සේ විසින් තමන් වහන්සේගේ ශ්‍රීහස්තයෙන් පරාමර්‍ශනය කරන (=පිරිමදින) ලද්දාවූ මම ඒ හා සමාන සැපයක් නො දනිමි. එයට වැඩි සැපයක් නම් කොයින් ද?
1380. සියලු භවයෝ නසන ලදහ. මාගේ මේ අන්තිම භවය වේ. එකල හස්තිරාජයකු වූ මා විසින් කුසල් බිජුවටක් රෝපණය කරනලදි.