59. පද්ම ස්ථවිරාවදානය
1323. උත්තම ධර්‍මප්‍රකාශක පදුමුත්තර බුදුරජ තෙම චතුස්සත්‍යය දෙසමින් මහාජනයාගේ (කෙලෙස්ගිනි) නිවමින් අමාවැසි වස්වයි.
1324. නැතුව සහිත පියුමක් ගෙණ මුදුන් මැදිරියක සිටි මම සතුටු වූයෙම් පදුමුත්තර බුදුරජානන් වහන්සේට (පූජා පිණිස) අහසෙහි දැමීමි.
1325. එකෙණෙහි පියුම පහතට වැටෙන කල්හි ආශ්චර්‍ය්‍යයෙක් විය. වාදිවර වූ බුදුරජහු මාගේ අදහස දැන එය පිළිගත්හ.
1326. උතුම් පියුම දකුණු අතින් ගෙන බුදුරජහු බික්සඟන මැද හිඳ මේ ගාථාවන් වදාළහ:
1327. “විනායක (නිවණට පමුණුවන්නා) වූ සර්‍වඥයන් වහන්සේ කෙරෙහි යමකු විසින් මේ පියුම (උඩට) දමන ලද ද, මම ඔහු ප්‍රකට කොට කියමි. එසේ කියන්නා වූ මාගේ වචනය අසවු.
1328. තිස්කපක් මුළුල්ලෙහි ශක්‍රදේවේන්‍ද්‍ර ව දෙව්රජය කරන්නේ ය. සත්සියවරක් පෘථිවිරාජ්‍යය (කරණුයේ) පොළොවෙහි වාසය කරන්නේ ය.
1329. එහි පියුම් පත් ගැණ (එම පත් ගණනින්) සක්විතිරජ වන්නේ ය. එකල්හි අහසින් මල්වැසි වසින්නේ ය.
1330. (මෙයින්) කල්ප ලක්‍ෂයක් ඉක්ම ගිය කල ඔක්කාක කුලයෙහි උපදින්නා වූ නමින් ගෞතම නම් වූ ශාස්තෘහු ලොව පහළ වන්නාහ.
1331. උන්වහන්සේගේ ධර්‍මයෙහි දායාද වූයේ ඖරස බුද්ධපුත්‍ර වූයේ ධර්‍මයෙන් නිර්මිත කළාක් වැනි වූයේ සියලු ආස්‍රවයන් ප්‍රහාණ පරිඥා වශයෙන් (දැන) දුරු කොට ආස්‍රව රහිත ව පිරිනිවන් පාන්නේ ය” (කියායි).
1332. සිහිනුවණින් යෙදී මවුකුසින් බිහි ව උත්පත්තියෙන් පස් හැවිරිදි කල්හි මම රහත් බවට පැමිණියෙමි.
1333. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පදුම ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යි.
පදුමස්ථවිරාවදානය නවවැනි යි.
60. අසනබෝධිය ස්ථවිරාවදානය
1334. උත්පත්තියෙන් සත්හැවිරිදි වූ මම (තිස්ස) බුදුරජානන් වහන්සේ දිටිමි. පහන් සිත් ඇත්තෙම් සොම්නස් සහිත වූයෙම් තථාගතයන් වහන්සේ වෙත එළඹුනෙමි.
1335. ලෝකජ්‍යේෂ්ඨ වූ තාදිගුණ ඇති තිස්ස බුදුරජානන් වහන්සේට සතුටු වූයෙම් සතුටු සිතින් (උන්වහන්සේගේ පියාබෝරුකින් ඵලයක් ගෙණ) උතුම් බෝධියක් රෝපණය කෙළෙමි.
1336. එය නමින් අසන (=පියා) නම් වූ බෝධිවෘක්‍ෂය යි. ඒ උතුම් බෝරුක පස්වසක් පරිවරණය (=පෝෂණය) කෙළෙමි.
1337. ආශ්චර්‍ය්‍ය වූ ලොමුදහගන්වන්නා වූ පිපුනු පියාබෝරුක දැක ස්වකීයකර්‍මය ප්‍රකාශ කරන්නෙම් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ වෙත එළඹුනෙමි.
1338. එකල්හි සියල්ල තෙමේ ම දැනගත්තා වූ අග්‍රපුද්ගල වූ ඒ තිස්ස සර්‍වඥ තෙමේ භික්‍ෂුසඞ්ඝයා මැද වැඩහිඳ මෙම ගාථාවන් වදාළසේක:
1339. “යමෙකු විසින් මෙ ම බෝධිය රෝපණය කරණ ලද ද, බුද්ධ පූජාව මැනැවින් කරණ ලද ද, මම ඔහු (කවරෙක් දැයි) ප්‍රකාශ කරන්නෙමි. එය ප්‍රකාශකරන්නා වූ මාගේ වචනය අසවු:
1340. හෙතෙම තිස්කපක් දෙවියන් අතුරෙහි දිව්‍ය රාජ්‍යය කරන්නේ ය. සූසැටවරක් සක්විතිරජ වන්නේ ය.
1341. කුශලමූලයෙන් මෙහෙයන ලද්දේ තුෂිත දෙව්ලොවින් ච්‍යුත ව දිව්‍යමනුෂ්‍ය සම්පත් දෙක අනුභව කොට මිනිසත් බැව්හි සිත් අලවා වසන්නේ ය.
1342. වීර්‍ය්‍යයෙන් මෙහෙයන ලද සිත් ඇති උපශාන්ත වූ උපධි රහිත වූ හෙතෙම සියලු ආස්‍රවයන් ප්‍රහාණපරිඥා වශයෙන් දැන (දුරු කොට) ආස්‍රව රහිතව පිරිනිවන් පාන්නේ ය” (කියායි).