60. අසනබෝධිය ස්ථවිරාවදානය
1334. උත්පත්තියෙන් සත්හැවිරිදි වූ මම (තිස්ස) බුදුරජානන් වහන්සේ දිටිමි. පහන් සිත් ඇත්තෙම් සොම්නස් සහිත වූයෙම් තථාගතයන් වහන්සේ වෙත එළඹුනෙමි.
1335. ලෝකජ්‍යේෂ්ඨ වූ තාදිගුණ ඇති තිස්ස බුදුරජානන් වහන්සේට සතුටු වූයෙම් සතුටු සිතින් (උන්වහන්සේගේ පියාබෝරුකින් ඵලයක් ගෙණ) උතුම් බෝධියක් රෝපණය කෙළෙමි.
1336. එය නමින් අසන (=පියා) නම් වූ බෝධිවෘක්‍ෂය යි. ඒ උතුම් බෝරුක පස්වසක් පරිවරණය (=පෝෂණය) කෙළෙමි.
1337. ආශ්චර්‍ය්‍ය වූ ලොමුදහගන්වන්නා වූ පිපුනු පියාබෝරුක දැක ස්වකීයකර්‍මය ප්‍රකාශ කරන්නෙම් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ වෙත එළඹුනෙමි.
1338. එකල්හි සියල්ල තෙමේ ම දැනගත්තා වූ අග්‍රපුද්ගල වූ ඒ තිස්ස සර්‍වඥ තෙමේ භික්‍ෂුසඞ්ඝයා මැද වැඩහිඳ මෙම ගාථාවන් වදාළසේක:
1339. “යමෙකු විසින් මෙ ම බෝධිය රෝපණය කරණ ලද ද, බුද්ධ පූජාව මැනැවින් කරණ ලද ද, මම ඔහු (කවරෙක් දැයි) ප්‍රකාශ කරන්නෙමි. එය ප්‍රකාශකරන්නා වූ මාගේ වචනය අසවු:
1340. හෙතෙම තිස්කපක් දෙවියන් අතුරෙහි දිව්‍ය රාජ්‍යය කරන්නේ ය. සූසැටවරක් සක්විතිරජ වන්නේ ය.
1341. කුශලමූලයෙන් මෙහෙයන ලද්දේ තුෂිත දෙව්ලොවින් ච්‍යුත ව දිව්‍යමනුෂ්‍ය සම්පත් දෙක අනුභව කොට මිනිසත් බැව්හි සිත් අලවා වසන්නේ ය.
1342. වීර්‍ය්‍යයෙන් මෙහෙයන ලද සිත් ඇති උපශාන්ත වූ උපධි රහිත වූ හෙතෙම සියලු ආස්‍රවයන් ප්‍රහාණපරිඥා වශයෙන් දැන (දුරු කොට) ආස්‍රව රහිතව පිරිනිවන් පාන්නේ ය” (කියායි).
1343. විවේකයෙහි යෙදුනු උපශාන්ත වූ උපධි රහිත වූ මම හස්තිරාජයෙකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිත ව වෙසෙමි.
1344. මෙයින් දෙඅනූවන කපෙහි වූ එකල්හි මම ඒ පියා බෝධිය රෝපණය කෙළෙමි. (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බෝධිරෝපණයෙහි මේ විපාකය යි.
1345. මෙයින් සූසැත්තෑවන කපෙහි වූ එකල්හි සත්රුවනින් යුත් දණ්ඩසේන නම් සක්විතිරජෙක් වීමි.
1346.මෙයින් තෙසැත්තෑවන කපෙහි පෘථිවීශ්වර වූ සමන්තනෙමි නම් වූ සක්විතිරජවරු සත්දෙනෙක් වූහ.
1347. මෙයින් පස්විසිවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති පුණ්ණක නම් සක්විතිරජෙක් වීමි.
1348. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් අසනබෝධිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යී.
අසනබෝධිය ස්ථවිරාවදානය දස වැනි යි.
උද්දානය:
විජනී සතරංසි සයන - උදක වාහිය පරිවාර ද,
පදීප ධජ පදුම පූජක - බෝධිය දැයි වත් දසෙක් වේ,
දෙයනූගයකින් බැඳ - මෙහි එය කියන ලද්දේ.
වීජනීවර්‍ගය සවැනියි.
7. සකචින්තනිය වර්‍ගය
61. සකචින්තනිය ස්ථවිරාවදානය
1349-1350. ඍෂින් විසින් සෙවුනාලද ස්වල්ප වූ ශබ්ද ඇති කැලඹීම් රහිත මහවනයක් දැක දෙවිමිනිසුන්ගේ පූජාවන් පිළිගන්නා වූ බුදුරජානන් වහන්සේ උදෙසා වැලිසෑයක් කොට නොයෙක් මල් විසිරවීමි. නිර්මිත බුදුරදුන් ඉදිරියෙහි මෙන් මම ඒ සෑය වැන්දෙමි.
1351. ස්වකීය කර්‍මයෙන් සතුටු වූ මම (ඒ පිණින්) සත්රුවනින් යුක්ත ව රටෙහි අධිපති රජ වීමි. ස්තූපපූජාවෙහි මේ විපාකය යි.
1352. මෙයින් එක්අනූවන කපෙහි (සෑයට) යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ස්තූපපූජාවෙහි මේ විපාකය යි.
1353. මම අසූවන කපෙහි සත්රුවනින් යුක්ත ව සිවුමහදිවයින්හි අධිපති වූ අනන්තයස නම් සක්විතිරජෙක් වීමි.
1354. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සකචින්තනිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යී.
සකචින්තනිය ස්ථවිරාවදානය පළමුවැනියි.