58. ධ්වජදායක ස්ථවිරාවදානය
1314. මම පදුමුත්තර බුදුරජානන් වහන්සේගේ උතුම් බෝරුකෙහි සතුටු වූයෙම් සතුටු සිතින් ම ධජයක් නැංවීමි.
1315. (බෝධියෙන්) වැටුනු කොළ ගෙන බැහැර ලීමි. ඇතුළත පිරිසිදු පිටත ද පිරිසිදු වූ අධිමුක්ත (නිශ්චයබුද්ධිසහිත) වූ ආස්රව රහිත වූ බුදුරජානන් වහන්සේ හමුයෙහි වඳින්නාක් මෙන් උතුම් බෝධිය වැන්දෙමි.
1316. පූජාවන් පිළිගන්නා වූ නොහොත් ලෝවැස්සන්ගේ පූජාවනට ගෙයක් වැනි වූ ශාස්තෘ වූ පදුමුත්තර බුදුරජානන් වහන්සේ භික්ෂු සඞ්ඝයා මැද වැඩහිඳ මේ ගාථාවන් වදාළසේක:
1317. “මේ ධ්වජපූජායෙන් ද උපස්ථානයෙන් ද යන මේ දෙකින් හෙතෙම කල්පලක්ෂයක් මුළුල්ලෙහි දුගතියට නො යයි.
1318. දෙවියන් අතර බොහෝ වූ දිව්යසෞභාග්යය (=සම්පත්) අනුභව කරන්නේ ය. නොයෙක් සියගණන් වාරයන්හි රටෙහි රජ වන්නේ ය. උග්ගත නම් වූ සක්විතිරජෙක් ද වන්නේ ය.
1319. කුශලමූලයෙන් මෙහෙයන ලදුයේ සම්පත් අනුභව කොට ගෞතම බුදුරජානන් වහන්සේගේ සස්නෙහි සිත අලවා වාසය කරන්නේ ය” (කියා යි).
1320. උපශාන්ත වූයෙම් උපධි රහිත වූයෙම් ප්රධන්විර්ය්යයෙහි මෙහෙයූ සිතැත්තෙම් වෙමි. සර්වඥශාසනයෙහි අන්තිමශරීරය දරමි.
1321. පණස්එක්දහසක් වන කපෙහි උග්ගත නම් රජෙක් වීමි. (එසේ ම) පනස්දහස් කපෙහි මේඝ නම් රජෙක් වීමි.
1322. පිළිසැඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සස්න කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ධ්වජදායකස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේකි.
ධ්වජදායක ස්ථවිරාවදානය අටවැනි යි.
59. පද්ම ස්ථවිරාවදානය
1323. උත්තම ධර්මප්රකාශක පදුමුත්තර බුදුරජ තෙම චතුස්සත්යය දෙසමින් මහාජනයාගේ (කෙලෙස්ගිනි) නිවමින් අමාවැසි වස්වයි.
1324. නැතුව සහිත පියුමක් ගෙණ මුදුන් මැදිරියක සිටි මම සතුටු වූයෙම් පදුමුත්තර බුදුරජානන් වහන්සේට (පූජා පිණිස) අහසෙහි දැමීමි.
1325. එකෙණෙහි පියුම පහතට වැටෙන කල්හි ආශ්චර්ය්යයෙක් විය. වාදිවර වූ බුදුරජහු මාගේ අදහස දැන එය පිළිගත්හ.
1326. උතුම් පියුම දකුණු අතින් ගෙන බුදුරජහු බික්සඟන මැද හිඳ මේ ගාථාවන් වදාළහ:
1327. “විනායක (නිවණට පමුණුවන්නා) වූ සර්වඥයන් වහන්සේ කෙරෙහි යමකු විසින් මේ පියුම (උඩට) දමන ලද ද, මම ඔහු ප්රකට කොට කියමි. එසේ කියන්නා වූ මාගේ වචනය අසවු.
1328. තිස්කපක් මුළුල්ලෙහි ශක්රදේවේන්ද්ර ව දෙව්රජය කරන්නේ ය. සත්සියවරක් පෘථිවිරාජ්යය (කරණුයේ) පොළොවෙහි වාසය කරන්නේ ය.
1329. එහි පියුම් පත් ගැණ (එම පත් ගණනින්) සක්විතිරජ වන්නේ ය. එකල්හි අහසින් මල්වැසි වසින්නේ ය.
1330. (මෙයින්) කල්ප ලක්ෂයක් ඉක්ම ගිය කල ඔක්කාක කුලයෙහි උපදින්නා වූ නමින් ගෞතම නම් වූ ශාස්තෘහු ලොව පහළ වන්නාහ.