51. විධූපනදායක ස්ථවිරාවදානය
1258. තාදිගුණ ඇති ලෝකජ්යේෂ්ඨ වූ ද්විපදෝත්තම වූ පදුමුත්තර බුදුරජානන් වහන්සේ ට මා විසින් විදුනාවක් දෙන ලදි.
1259. සිය සිත පහදවා ඇඳිලි බැඳ සම්බුදුන් වැඳ උතුරු දිගට මුහුණ ලා ගියෙමි.
1260. ලෝකයෙහි අසහාය ශාස්තෘ වූ බුදුරජානන් වහන්සේ භික්ෂු සඞ්ඝයා මැද හිඳ විදුනාව ගෙන මේ ගාථාව වදාළසේක:
1261. “මේ වීජනී දානය හේතු කොට ගෙන ද චිත්තප්රණිධීන් හේතු කොට ගෙන ද කල්පලක්ෂයක් මුළුල්ලෙහි දුගතියකට නො යයි” යනු යි.
1262. පිරිපුන් වීර්ය්යය ඇති (නිවණ) කෙරෙහි මෙහෙයන ලද සිත් ඇති සමාධිගුණයෙන් යුත් උත්පත්තියෙන් සත්හැවිරිදි වූ මම රහත්බවට පැමිණියෙමි.
1263. සැටදහසක් කපින් මතුයෙහි විජමාන යන සමාන නම් ඇති මහා බලවත් සක්විතිරජවරු සොළොස්දෙනෙක් වූහ.
1264. පිළිසැඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් විධූපනදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේකි.
විධූපනදායක ස්ථවිරාවදානය පළමුවැනි යි.
52. සතරංසික ස්ථවිරාවදානය
1265. පුරුෂෝත්තම වූ පදුමුත්තර බුදුරජහු උස වූ පව්වකට නැගී වැඩ හුන්හ. ඒ පර්වතයට නුදුරෙහි හුන් වේදමන්ත්රයෙහි පරතෙරට ගිය බමුණෙක් වූ (මම) -
1266. එසේ වැඩහුන්නා වූ මහාවීර වූ දේවාතිදේව වූ නර ශ්රේෂ්ඨ වූ ලෝකනායකයන් වහන්සේට ඇඳිලි බැඳගෙන ස්තුති කෙළෙමි:
1267. “උතුම් ධර්මය ප්රකාශ කරන්නා වූ මහාවීර වූ මේ සර්වඥයන් වහන්සේ භික්ෂුසංඝයා විසින් පිරිවරණ ලදසේක් ගිනිකඳක් මෙන් බබලන සේක.
1268. මහාසමුදුර මෙන් නො කැලඹිය හැකි සයුර මෙන් තරණය කළ නො හැකි සිහරජෙකු මෙන් අසම්භීත වූ පසැස් ඇත්තා වූ බුදුරජානන් වහන්සේ ධර්ම දේශනා කරණ සේක” යනුයි.
1269. ශාස්තෘ වූ පදුමුත්තර බුදුරජානන් වහන්සේ මාගේ අදහස් දැන භික්ෂුසංඝයා මැද වැඩසිටිසේක් මේ ගාථාවන් වදාළසේක:
1270. “යමකු විසින් (සර්වඥයන්හට) ඇඳිලි බඳනා ලද ද, එසේ ම යමකු විසින් බුද්ධශ්රේෂ්ඨ තෙම පසසන ලද ද, (එසේ කළ) මේ තෙමේ තිස්දහසක් කප් දිව්යරාජ්යය කරන්නේ ය.
1271. මෙයින් කල්පලක්ෂයක් ඉක්ම ගිය කල්හි අංගීරස නම් වූ බැහැර කළ කෙලෙස්සෙවෙනි ඇති ගෞතම සම්බුදුරජ තෙමේ උපදින්නේ ය.
1272. හෙතෙම ඒ බුදුරජානන් වහන්සේගේ ධර්මයට දායාද වූ ඖරස පුත්ර වූ ධර්මය වූ නමින් සතරංසී වූ රහතෙක් වන්නේ ය” කියා යි.
1273. උත්පත්තියෙන් සත්හැවිරිදි වූ මම සසුනෙහි පැවිදි වීමි. නමින් සතරංසි වෙමි. මාගේ සිරුරින් පැහැය නික්ම දිවෙයි.
1274. මණ්ඩපයක හෝ වෘක්ෂමූලයක හෝ ධ්යාන කරණසුලු වූ ධ්යානයෙහි ඇලුනා වූ මම සර්වඥශාසනයෙහි අන්තිම ශරීරය දරමි. (මේ අන්තිම භවය යි.)
1275. සැටදහස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති රාම නම් වූ සක්විති රජවරු සිවුදෙනෙක් වූහ.
1276. පිළිසැඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සතරංසි ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළහ.
සතරංසිකස්ථවිරාවදානය දෙවැනි යි.
53. ශයනදායක ස්ථවිරාවදානය
1277. සියලු ලොවැසියනට අනුකම්පා කරණසුලු වූ ඒ පදුමුත්තර බුදුරජානන් වහන්සේට පහන්සිතින් යහනක් දිනිමි.
1278. ඒ ශයනදානය කරණ කොට ගෙන යහපත් කෙතක සස්යසම්පත් මෙන් ඔහුට භෝගයෝ උපදිත්. ශයනදානයාගේ මේ විපාකය යි.