52. සතරංසික ස්ථවිරාවදානය
1265. පුරුෂෝත්තම වූ පදුමුත්තර බුදුරජහු උස වූ පව්වකට නැගී වැඩ හුන්හ. ඒ පර්වතයට නුදුරෙහි හුන් වේදමන්ත්රයෙහි පරතෙරට ගිය බමුණෙක් වූ (මම) -
1266. එසේ වැඩහුන්නා වූ මහාවීර වූ දේවාතිදේව වූ නර ශ්රේෂ්ඨ වූ ලෝකනායකයන් වහන්සේට ඇඳිලි බැඳගෙන ස්තුති කෙළෙමි:
1267. “උතුම් ධර්මය ප්රකාශ කරන්නා වූ මහාවීර වූ මේ සර්වඥයන් වහන්සේ භික්ෂුසංඝයා විසින් පිරිවරණ ලදසේක් ගිනිකඳක් මෙන් බබලන සේක.
1268. මහාසමුදුර මෙන් නො කැලඹිය හැකි සයුර මෙන් තරණය කළ නො හැකි සිහරජෙකු මෙන් අසම්භීත වූ පසැස් ඇත්තා වූ බුදුරජානන් වහන්සේ ධර්ම දේශනා කරණ සේක” යනුයි.
1269. ශාස්තෘ වූ පදුමුත්තර බුදුරජානන් වහන්සේ මාගේ අදහස් දැන භික්ෂුසංඝයා මැද වැඩසිටිසේක් මේ ගාථාවන් වදාළසේක:
1270. “යමකු විසින් (සර්වඥයන්හට) ඇඳිලි බඳනා ලද ද, එසේ ම යමකු විසින් බුද්ධශ්රේෂ්ඨ තෙම පසසන ලද ද, (එසේ කළ) මේ තෙමේ තිස්දහසක් කප් දිව්යරාජ්යය කරන්නේ ය.
1271. මෙයින් කල්පලක්ෂයක් ඉක්ම ගිය කල්හි අංගීරස නම් වූ බැහැර කළ කෙලෙස්සෙවෙනි ඇති ගෞතම සම්බුදුරජ තෙමේ උපදින්නේ ය.
1272. හෙතෙම ඒ බුදුරජානන් වහන්සේගේ ධර්මයට දායාද වූ ඖරස පුත්ර වූ ධර්මය වූ නමින් සතරංසී වූ රහතෙක් වන්නේ ය” කියා යි.
1273. උත්පත්තියෙන් සත්හැවිරිදි වූ මම සසුනෙහි පැවිදි වීමි. නමින් සතරංසි වෙමි. මාගේ සිරුරින් පැහැය නික්ම දිවෙයි.
1274. මණ්ඩපයක හෝ වෘක්ෂමූලයක හෝ ධ්යාන කරණසුලු වූ ධ්යානයෙහි ඇලුනා වූ මම සර්වඥශාසනයෙහි අන්තිම ශරීරය දරමි. (මේ අන්තිම භවය යි.)
1275. සැටදහස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති රාම නම් වූ සක්විති රජවරු සිවුදෙනෙක් වූහ.
1276. පිළිසැඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සතරංසි ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළහ.
සතරංසිකස්ථවිරාවදානය දෙවැනි යි.
53. ශයනදායක ස්ථවිරාවදානය
1277. සියලු ලොවැසියනට අනුකම්පා කරණසුලු වූ ඒ පදුමුත්තර බුදුරජානන් වහන්සේට පහන්සිතින් යහනක් දිනිමි.
1278. ඒ ශයනදානය කරණ කොට ගෙන යහපත් කෙතක සස්යසම්පත් මෙන් ඔහුට භෝගයෝ උපදිත්. ශයනදානයාගේ මේ විපාකය යි.
1279. අහසෙහි ශයනය කරමි. මේ පෘථිවිය (ඊශ්වරත්වයෙන්) දරමි. සත්ත්වයන් කෙරෙහි මාගේ අධිපතිත්වය පවතී. ශයනදානයාගේ මේ විපාකය යි.
1280. මෙයින් පන්දහස්වන කපෙහි මාහාවර නමින් රජවරු ඇට දෙනෙක් වූහ. තුන්දහස්සිවුසියවන කපෙහි මහත් බල ඇති රජවරු සිය දෙනෙක් වූහ.
1281. පිළිසැඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ශයනදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේකි.
ශයනදායකස්ථවිරාවදානය තෙවැනි යි.
54. ගන්ධොදකිය ස්ථවිරාවදානය
1282. පදුමුත්තර බුදුරජානන් වහන්සේගේ මහාබෝධියට පූජාවෙක් විය. විසිතුරු කළයක් ගෙණ මම එහි සුවඳ පැන් දිනිමි.
1283. බෝධිය නාවනකල්හි මහවැසි වැස්සේ ය. හෙන පුපුරණ කල්හි මහත් ශබ්ද ද විය.
1284. ඒ අසනිවේගයෙන් (=හෙන පහරින්) එහි ම කලුරිය කෙළෙමි. (මම එකෙණෙහි) දෙව්ලොව උපන්නෙම් මේ ගාථාව කීමි:
1285. “සර්වඥ වහන්සේ ආශ්ච්යර්ය හ. ධර්මය ආශ්ච්යර් ය. අපගේ ශාස්තෘසම්පත්තිය ආශ්ච්යර් ය. මාගේ සිරුර (සෙණපහරින්) ඇද වැටිනි. එයින් චුත වූ මම දෙව්ලොව සිත් අලවා වසමි.”
1286. පැන නැගුනා වූ මාගේ සත්බුමු විමන උස් ව නැගුනේ ය. හැම කල්හි සියක් දහසක් කන්යාවෝ මා පිරිවරත්.
1287. මට ආබාධයෝ නො වෙත්. මට ශෝකයෙක් ද නැත. පරිලාභයක් (=තැවීමක්) නො දකිමි. පුණ්යකර්මයාගේ මේ විපාකය යි.
1288. දෙදහස්අටසියවන කපෙහි සත්රුවනින් යුත් වූ මහත් බල ඇති සංවසිත නම් සක්විතිරජෙක් වීමි.
1289. පිළිසැඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ගන්ධොදකිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේකි.
ගන්ධොදකිය ස්ථවිරාවදානය සිවුවැනි යි.
55. ඕපවය්හ ස්ථවිරාවදානය
1290. මම පදුමුත්තර බුදුරජානන් වහන්සේට අජානීය අශ්වයකු දිනිමි. බුදුරජානන් වහන්සේට (ඒ අශ්වයා) දක්වා දී ස්වකීය ගෘහයට ගියෙමි.
1291. උතුම් ධර්මයට දායාද වූ (පදුමුත්තර) ශාස්තෲන් වහන්සේගේ අග්රශ්රාවක නමින් දේවල නම් වූ තෙරණුවෝ මා වෙත පැමිණියහ. (පැමිණ මෙසේ කීහ:)