547. අභය ස්ථවිරාවදානය
6217. මෙයින් සියක්දහස්වන කපෙහි ලෝකනායක වූ සියලු ධර්මයන්හි (විනිවිද දක්නා සුළු) නුවණැස් ඇති පදුමුත්තර බුදුරජ තෙම ලොව පහළ විය.
6218. ඒ තථාගත තෙම කිසිවකු සරණගමනයෙහි පිහිටු වයි. කිසිවකු ශීලයෙහි ද උතුම් වූ දශ (කුශල) කර්මපථයෙහි ද පිහිටුවයි.
6219. ඒ බුද්ධවීර තෙමේ කිසිවකුට උතුම් වූ (සෝවන් ආදි වූ සතර) ශ්රාමණ්යඵලය දෙයි. එසේ ම ත්රිවිද්යාවන් ද අෂ්ටසමාපත්තීන් ද දෙයි.
6220. නරෝත්තම වූ බුදුරජ තෙම කිසියම් සත්ත්වකෙනෙකුන් ෂඩභිඥාවන්හි යොදවයි. අනාථයනට (පිහිට වන බැවින්) නාථ වූ තථාගත තෙමේ කිසිවෙකුට සිවු පිළිසැඹියාවන් දෙයි.
6221. දමනය කළයුතු නරයන් හික්මවන බැවින් නරසාරථි වූ බුදුරජතෙම නොගිණිය හැකි යොදුන් දුර සිටියා වූ ද ධර්මාවබෝධයට සුදුසු සත්ත්වසමූහය දැක මොහොතකින් එහි එළඹ උන් හික්මවයි.
6222-6223. එකල්හි මම හංසවතී නගරයෙහි සියලු වේදයන්ගේ පරතෙරට ගියා වූ ව්යාකරණ සඞ්ඛ්යාත ශබ්දශාස්ත්රයෙහි විශාරදයෙකැයි සම්මත වූ (ශබ්දාර්ත්ථයන් නිවැරදි ලෙස ගැණුමට උගන්වන) නිරුක්තිශාස්ත්රයෙහි දක්ෂ වූ (ශබ්දාභිධානයන් දැන ගැණුමට උගන්වන) නිඝණ්ඩුශාස්ත්රයෙහි විශාරද වූ (ව්යාකරණයෙහි ආදිම අවස්ථාව ලෙස සැලකෙන නාමාදී) පදයන් දන්නා වූ (කාව්යකරණයෙහි දී කවීන්හට උපකාර වන අලඞ්කාරාදිය ඇතුළත් ක්රියාකල්ප විකල්පය යි කියන ලද) කෙටුභශාස්ත්රය දන්නා වූ (අක්ෂරයන්ගේ නියමය දැක්වෙන ඡන්දස් වෙන් කොට දැනගැණීමට උගන්වන) ඡන්දෝවිචිති වේදාඞ්ගයෙහි ද දක්ෂ වූ බ්රාහ්මණ පුත්රයෙක් වීමි.
6224-6226. මම ජඞ්ඝාවිහාරයෙහි යෙදෙමින් හෙවත් ශරීර ව්යායාම පිණිස ඇවිදිමින් හංස රාමයට එළඹ, මහාජනයා විසින් පිරිවරන ලද්දා වූ වාදීන් අතුරෙන් ශ්රේෂ්ඨ වූ නිර්මල ධර්මය දේශනා කරන්නා වූ බුදුරජුන් දිටිමි. විරුද්ධ මතධාරී වූ මම සමීපයට එළඹ උන් වහන්සේගේ නිර්මල වූ වචන අසා ඒ බුදුරජුන්ගේ වැරදි ලෙස යොදන ලද්දා වූ හෝ පුන පුනා කියන ලද්දා වූ හෝ අපාර්ත්ථ වූ හෝ නිරර්ත්ථක වූ හෝ (වචනයක්) මම නො දිටිමි. එහෙයින් මම පැවිදි වීමි.
6227. නො බෝ කලකින් ම ශාස්ත්ර විශාරද වූයෙම් බුද්ධවචනයෙහි දක්ෂ වූයෙම් ගණයා පරිහරණයට සුදුසුය යි සම්මත වූයෙම් හෙවත් ස්ථවිර වූයෙම් වෙමි.
6228. එකල්හි මම බුදුරජුන්හට පසසා අක්ෂර වත් වූ සිවුගයක් ගොතා දිනපතා කියනෙමි. කෙසේද යත්:
6229. මහාවීරයන් වහන්ස, මුබ බිය සහිත වූ සසරෙහි වෙසෙමින් එහි විරතවූයේ වෙහි ය. කරුණායෙන් ම පිරිනිවන් නො පෑ ය. එහෙයින් බුදුරජ තෙම කාරුණිකය.
6230. යමෙක් පුහුදුන්ව සිටියදී පවා ක්ලේශ වසඟ නො වූයේ ද, සම්යක්ප්රඥාවෙන් හා ස්මෘතියෙන් යුක්තවූයේ වේ ද, එහෙයින් මෙතෙම නො සිතිය හැකි ගුණ ඇත්තේ ය.