546. කාළුදායි ස්ථවිරාවදානය
6187. මෙයින් සියක් දහස්වන කපෙහි ලෝකනායක වූ සියලු ධර්මයන්හි විනිවිද දක්නා නුවණැස් ඇති පදුමුත්තර බුදුරජ තෙම ලොව පහළ විය.
6188. නායකයන් අතුරෙහි උතුම් වූ ගුණ - අගුණ දැය මේ මේ ය යි දන්නා වූ (දෙවිමිනිසුන්හට) ශාස්තෘ වූ කෙළෙහිගුණ දන්නා වූ කෙළෙහි ගුණ නැවත නැවත සිහි කරන්නා වූ බුදුරජ තෙම සත්ත්වයන් තීර්ත්ථයෙහි (නිවන්මගෙහි) යොදයි.
6189. අනන්තගුණ පිණ්ඩයක් බඳු වූ දයාවට වාසස්ථාන වූ (ඒ සර්වඥ තෙම) සියල්ල දන්නා නුවණින් (තරාදියකින් මෙන්) සත්ත්වයන්ගේ ආසයානුසය (චරිතාධිමූක්තීන්) විමසා බලා උතුම් වූ ධර්මය දෙසයි.
6190. ඒ මහාවීර වූ බුදුරජ තෙම කිසි කලෙක්හි අනන්තජනයා ගෙන් යුත් සබමැද සිව්සස් දහම් සහිත වූ මිහිරි ධර්මය දේශනා කරයි.
6191. ආදි මධ්ය පර්ය්යවසාන කල්යාණ වූ ඒ උතුම් ධර්මය අසා සියක් දහසක් ප්රාණීන්හට ධර්මාවබෝධය විය.
6192. එකල්හි පෘථිවි තොමෝ මහත් නාද පැවැත්වූ ය. මේඝයෝ ගර්ජනය කළාහු ය. දෙව් බඹ මිනිස් අසුර යන මොහු සාධුනාද පැවැත් වූහ.
6193. කාරුණික වූ ශාස්තෘ තෙමේ ආශ්චර්ය්යයෙකි. සදහම් දෙසුම ද ආශ්චර්ය්යයකි. සර්වඥතෙම භවසයුරෙහි ගිලුනවුන් ගොඩනැගී ය. ආශ්චර්ය්යයෙකි.
6194. මෙසේ දෙවිබඹුන් සහිත වූ මිනිසුන් ප්රීතියෙන් ඇලලී ගිය කල්හි බුදුරජතෙම කුලපහදවනුවන් අතුරෙන් අග්රය යි ශ්රාවකයකු පැසසී ය.
6195. එකල්හි මම හංසවතී නගරයෙහි ඇමතිකුලයක උපනෙම් දුටුවන් පහදවන්නා වූ, දැකුම්කලු වූ, සමෘද්ධ වූ ධනධාන්ය ඇති කෙනෙක් වීමි.
6196. මම හංසාරාමයට එළඹ ඒ බුදුරජුන්හට වැඳ මිහිරි දහම් අසා තාදීගුණ ඇති ඒ බුදුරජුන්හට සත්කාර කොට -
6197-6199. මම උන්වහන්සේගේ පාමුල වැඳ වැටී මේ වදන් කීමි: “මුනීන්ද්රයන් වහන්ස, ඔබ වහන්සේ විසින් කුලපහදවනුවන් අතුරෙන් අග්රය යි යම් ශ්රාවකයෙක් තෙම පසසනලද ද, වීරයන් වහන්ස, මම ද ශ්රේෂ්ඨ වූ බුදුවරයකුගේ සසුනෙහි එබඳු (කුලප්පසාදක භික්ෂූන් අතුරෙන් අග්ර වූ) ශ්රාවකයෙක් වෙමැ” යි කීමි. එකල්හි මහා කාරුණික වූ බුදුරජ තෙමේ මට අමා ඉසින්නාක් මෙන් “පුතණුවෙනි, නැගිටුව. ඒ මනදොළ ලබනෙහි ය. බුදුවරයකු කෙරෙහි සත්කාරයක් කොට කෙසේ නම් නිෂ්ඵල වන්නේ දැයි” මට වදාළේ ය.
6200. මෙයින් මතු සියක් දහස්වන කපෙහි ඔක්කාකකුලයෙහි උපදනා වූ නමින් ගෞතම නම් වූ ශාස්තෘ තෙමේ ලොව පහළ වන්නේ ය.
6201. උන්වහන්සේගේ ධර්මයෙහි දායාද වූ ධර්මයෙන් නිර්මිත කළාක් බඳු වූ ඖරස පුත්ර වූ, නමින් උදායී නම් වූ ශාස්තෘ ශ්රාවකයෙක් වන්නේය යි ද වදාළේ ය.
6202. එකල්හි එයඅසා සතුටු වූයෙම් මෙත් සිත් ඇත්තෙම් විශිෂ්ටනායක වූ බුදුරජුන්හට සිවුපසයෙන් උවටන් කෙළෙමි.
6203. ඒ කර්මවිපාකය හේතුකොට ගෙණ ද, චිත්තප්රණිධීන් හේතුකොට ගෙණ ද මම මිනිස්සිරුර හැර තව්තිසා දෙව්ලොවට (උත්පත්තිවශයෙන්) ගියෙමි.
6204. දැන් මේ අන්තිම භවයෙහි රම්ය වූ කපිලවාස්තු නගරයෙහි සුද්ධෝදන මිහිපතිහුගේ මහඇමතිකුලයෙහි උපන්නේ වෙමි.
6205. යම් කලෙක්හි නරශ්රේෂ්ඨ වූ සිද්ධාර්ත්ථ බෝසත් තෙමේ සව්ලොවට හිතපිණිස ද රම්ය වූ ලුම්බිනි සල්උයනෙහි දී (මව් කුසින්) බිහි වී ද,