545. නන්‍දක ස්ථවිරාවදානය
6165. මෙයින් පෙර සියක් දහස්වන කපෙහි ලෝකනායක වූ සියලු ධර්‍මයන් විනිවිද දක්නා සුලු නුවණැස් ඇති පදුමුත්තර බුදුරජතෙම ලොව පහළ විය.
6166. වාදීවර වූ පුරුෂශ්‍රේෂ්ඨ වූ බුදුරජතෙම දෙවියන් සහිත ලෝකයෙහි සව්සත්නට හිත පිණිස සුව පිණිස වැඩ පිණිස පිළිපන්නේ ය.
6167. යසසින් අගතැන් පැමිණියා වූ ශ්‍රී (-සම්පත්) ඇත්තා වූ කීර්‍තතිඝෝෂ ඇති බුදුරජ තෙම සියලු ලෝකයා විසින් පුදන ලද්දේ සව්දිගුන්හි ප්‍රකට විය.
6168. ඉක්ම වූ සැක ඇති, පරිපූර්‍ණ වූ චිත්තසඞ්කල්ප ඇති උන්වහන්සේ උතුම් සම්‍යක් සම්බෝධියට පැමිණි සේක.
6169. නූපන් මාර්‍ගය උපදවන්නා වූ මිනිස්නට උතුම් වූ ඒ බුදුරජතෙම (පෙර කිසිවකු විසින්) නො බිණූවක් (-චතුරාර්‍ය්‍යසත්‍යය) ද බිණී ය. නො හටගත් (ඵලසමාපත්තීන් ද) හට ගැන්වි ය.
6170. නිවන් මග පිළිවිදි, නිවන් මග දැනගත්, නිවන් මග පවසන්නා වූ, නිවන් මගෙහි දක්‍ෂ වූ, (දෙවිමිනිස්නට) අනුශාසනා කරන්නා වූ, පුරිසදම්ම සාරථි ගුණ ඇතියවුන් අතුරෙන් අති උතුම්, නරශ්‍රේෂ්ඨ වූ, ලෝකනායක වූ-
6171. මහකරුණා ඇත්තා වූ බුදුරජතෙම එකල්හි දහම් දෙසයි. මෝහමඩෙහි ගැලුනු සත්ත්‍වයන් (එයින්) ගොඩලයි.
6172. ඒ මහාමුනි තෙම භික්‍ෂුණීන්හට ඔවා දීමෙහි අග්‍රය යි සම්මත වූ ශ්‍රාවකයකු පසසමින් ඒතදග්‍රස්ථානයෙහි තැබී ය.
6173. එය අසා සතුටු වූ මම බුදුරජුන් පවරා සඞ්ඝයා සහිත ව වළඳවා ඒ උතුම් තනතුර පැතීමි.
6174. එකල්හි ප්‍රමුදිත වූ මහර්ෂි වූ සර්‍වඥ තෙම මට මෙසේ කීය: සුව ඇත්තේ වේවා. දිගාසිරි ඇත්තේ වේවා. ඒ මනදොළ (සපුරා) ලබන්නේ ය.
6175. මෙයින් සියක් දහස්වන කපෙහි ඔක්කාකකුලයෙහි උපදින්නා වූ නමින් ගෞතම නම් ශාස්තෘ තෙමේ ලොව පහළ වන්නේ ය.
6176. උන්වහන්සේගේ ධර්‍මයෙහි දායාද වූ ධර්‍මයෙන් නිර්මිත කළාක් වැනි වූ ඖරස පුත්‍ර වූ නමින් නන්‍දක නම් වූ ශාස්තෘශ්‍රාවකයෙක් වන්නේ ය (කියා යි).
6177. මැනැවින් කරණලද ඒ කර්‍මය හේතු කොට ගෙණ ද චිත්ත ප්‍රණිධීන් හේතු කොට ගෙණ ද මම මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට උත්පත්තිවශයෙන් ගියෙමි.
6178. දැන් පශ්චිමභවය පැමිණි කල්හි මම සමෘද්ධ වූ (සම්පත්තීන්) පිරුණා වූ මහත් ධන ඇති උතුම් වූ සැවැත් නුවර සිටුකුලයක උපන්නෙම් වෙමි.
6179. නගරයට පිවිසෙන කල්හි බුදුරජුන් දැක විස්මිත වූ සිත් ඇත්තෙම් ජේතවනාරාමය පිළිගැණීමෙහි දී (අනගාර්‍ය්‍ය සඞ්ඛ්‍යාත) පැවිද්දට වන්මි.
6180. නො බෝ කලකින් ම රහත්බවට පැමිණියෙම් වෙමි. එ හෙයින් සර්‍වදර්ශී වූ බුදුරජුන් විසින් අනුශාසනා කරණලද මම තරණය කළ සසර ඇත්තෙම් වෙමි.