538. උරුවේලකස්සප ස්ථවිරාවදානය
5911. පසැස් ඇත්තා වූ සියලු ලෝකයන් තත් වූ පරිදි දැනගත්තා වූ පස්මරුන් ජයගත්තා වූ පදුමුත්තර නම් බුදුරජතෙමේ මෙයින් ලක්‍ෂයක් වන කල්පයෙහි ලොව පහළ විය.
5912. සව්සත්නට ඔවා දෙන්නා වූ දහම් පිළිවිදුවන්නා වූ (සත්ත්‍වයන්) සසරින් එතෙර කරන්නා වූ දේශනාවෙහි දක්‍ෂ වූ බුදුරජ තෙම බොහෝ ජනසමූහයා සසරින් එතෙර කරවී ය.
5913. සව්සත්නට අනුකම්පා කරන්නා වූ කාරුණික වූ හිත කැමැත්තා වූ ඒ බුදුරජ තෙම පැමිණි සියලු තීර්‍ත්‍ථකයන් පන්සිල්හි පිහිට විය.
5914. මෙසේ ඒ කාලය තීර්‍ත්‍ථකයන්ගෙන් හිස් වූ නිරවුල් වූ, තාදී ගුණ ඇති පඤ්චවශිතායෙන් වශීභූත වූ රහතුන්ගෙන් විසිතුරු වූවක් විය.
5915. ඒ බුදුරජතෙම අටපණස්රියනක් උස ය. රන්ඇගෑයක් වැන්න. දෙතිස්මහපුරිස් ලකුණු ඇත්තේ ය.
5916. එකල්හි ලක්‍ෂයක් හවුරුද්දට ආයු වෙයි. එපමණ කල් වැඩහුන්නා වූ ඒ සර්‍වඥතෙම බොහෝ ජනසමූහයා සසරින් එතෙර කෙළේ ය.
5917. එකල්හි මම හංසවතී නගරයෙහි සාධුසම්මත වූ බ්‍රාහ්මණයෙක් වූයෙම් බුදුරජුන් වෙත එළඹ දම්දෙසුම් ඇසීමි.
5918. එකල්හි මම (මහපිරිස් ඇතියනට අග්‍රය යි) ඒතදග්‍රස්ථානයෙහි තබන්නා වූ මහපිරිස් ඇති බුද්ධශ්‍රාවකයකු දැක සතුටු වූයෙමි.
5919. බමුණන් දහසක් සහිත වූ මම මහපිරිවරින් බුදුරජුන් පවරා දන් දුනිමි.
5920. මහදන් දී බුදුරජුන් වැඳ සතුටු වූයෙම් එකත්පසෙක සිටියෙම් මේ වචනය කීමි:
5921. “වීරයන් වහන්ස මා විසින් ඔබ වහන්සේ කෙරෙහි සැදැහැයෙන් කරණලද පූජාසත්කාර සඞ්ඛ්‍යාත අධිකාර ගුණ හේතු කොටගෙන ඒ ඒ තන්හි උපදින්නා වූ මට මහත් වූ පිරිස ඇති වේවා.
5922-5923. එකල්හි මේඝගර්ජිතයකට බඳු මනා වූ ගම්භීර ස්වර ඇති කුරවිකෙවිල් හඬකට බඳු ස්වර ඇති ශාස්තෘ තෙමේ පිරිස අමතා මෙසේ කී ය: “ස්වර්‍ණවර්‍ණ වූ මහාබාහු ඇති, පියුමකට බඳු මුහුණ හා ඇස් ඇති, ඌධර්‍වාග්‍රරෝම ඇති, ප්‍රීතිමත් වූ මාගේ ගුණයෙහි සැදැහැවත් වූ මේ බමුණු දෙස බලවු.
5924. මෙතෙම මහපිරිස් ඇත්තවුනට අගතැන්පත් වු ශ්‍රේෂ්ඨ ඝෝෂ ඇත්තා වූ නොහොත් සිංහඝෝෂ නම් වූ භික්‍ෂුහුගේ ඒ තනතුර පතයි. මතුකාලයෙහි ඔහුගේ ඒ චිත්තාභිලාෂය සමෘද්ධ වන්නේ ය.
5925. මෙයින් සියක් දහස් වන කපෙහි ඔක්කාක කුලයෙහි උපදින්නා වූ, ග්‍රොතයෙන් ගෞතම නම් වූ ශාස්තෘ තෙම ලොව පහළ වන්නේ ය.
5926. උන්වහන්සේගේ ධර්‍මයෙහි දායාද වූ ධර්‍මයෙන් නිර්මිත කළාක් වැනි වූ ඖරස පුත්‍ර වූ නමින් කාශ්‍යප නම් වූ ශාස්තෘශ්‍රාවකයෙක් වන්නේ ය” කියා යි.
5927. මෙයින් පෙර දෙයානූවන කපෙහි ලෝකයෙහි ශ්‍රේෂ්ඨ නායකයාණන් වූ මෙබඳුයයි කීමට උපමාවක් නැත්තා වූ සමානය යි දැක්වීමට කෙනෙකු නැත්තා වූ ඵුස්ස බුදුරජතෙම ලොව පහළ විය.
5928. ඒ බුදුරජ තෙමේ ද සියලු මොහො අඳුරු නසා මහත් වූ තෘෂ්ණා අවුල නිරවුල් කොට දෙවියන් සහිත ලෝකයා පිණවමින් දහම් අමාවැසි වස්වයි.
5929. එකල්හි අපි බරණැස්නුවර රාජපුත්‍රයෝ වීමු. එසේ ම අපි තිදෙනෙ ඔවුනොවුනට සොහොයුරු වීමු. අපි සියලුදෙන රජුගේ විශ්වාසයෝ ද වීමු.