539. රාධ ස්ථවිරාවදානය
5956. පසැස් ඇත්තා වූ සියලු ලෝකයන් තත් වූ පරිදි දැනගත්තා වූ මෝනෙය්යගුණ ඇති පදුමුත්තර නම් බුදුරජ තෙමේ මෙයින් පෙර සියක්දහස් වන කපෙහි ලොව පහළ විය.
5957. සව්සත්නට ඔවා දෙන්නා වූ දහම් පිළිවිදුවන්නා වූ සත්ත්වයන් සසරින් එතෙර කරන්නා වූ දේශනාවෙහි දක්ෂ වූ බුදුරජ තෙමේ බොහෝ ජනසමූහයා සසරින් එතෙර කරවී ය.
5958. සව්සත්නට අනුකම්පා කරන්නා වූ කාරුණික වූ හිත කැමැත්තා වූ ඒ බුදුරජතෙම පැමිණි සියලු තීර්ත්ථකයන් පන්සිල්හි පිහිටු විය.
5959. මෙසේ ඒ කාලය තීර්ත්ථකයන්ගෙන් හිස් වූ, නිරවුල් වූ තාදී ගුණ ඇති පඤ්චවශිතාවන්ගේ වශීභූත වූ රහතුන්ගෙන් විසිතුරු වූවක් විය.
5960. ඒ බුදුරජතෙම අටපණස් රියනක් උස ය. රන්ඇගෑයක් මෙන් බබලන්නේ ය. දෙතිස්මහපුරිස් ලකුණු ඇත්තේ ය.
5961. එකල්හි වර්ෂලක්ෂයක් ආයුෂ වෙයි. එපමණ කල් වැඩ සිටිමින් ඒ සර්වඥතෙම බොහෝ ජනසමූහයා සසරින් එතෙර කෙළේ ය.
5962. එකල්හි මම හංසවතී නගරයෙහි වේද මන්ත්රයන්හි තෙරපත් බමුණෙක් වූයෙම් ඒ බුදුරජුන් වෙත එළඹ දම් දෙසුම ඇසීමි.
5963. පටිභාණෙය්යක (-වැටහීම් ඇති) භික්ෂුනමක් ඒතදග්රස්ථානයෙහි තබන්නා වූ පිරිස්හි විශාරද වූ, විශිෂ්ට නායකත්වය ඇති, මහාවීරයන් වහන්සේ දැක,
5964. එකල්හි මම සඞ්ඝයා සහිත ලෝකනායකයන් වහන්සේ කෙරෙහි අධිකාර කොට සිරසින් හෙව වැඳ ඒ තනතුර පැතීමි.
5965. ඉක්බිති සිඞ්ගී ස්වර්ණනිෂ්කයකට බඳු පැහැ ඇති භාග්යවත් තෙමේ කෙලෙස් මල හරනා වූ සිත් රැඳවිය යුතු මිහිරි ස්වරයෙන් මට (මෙසේ) වදාළේය:
5966. “සුවපත් වේවා. දීඝායුෂ්ක වේවා. තාගේ පැතුම සිදුවේවා. සඞ්ඝයා සහිත වූ මා කෙරෙහි තා විසින් කරණ ලද සත්කාරය අනුසස් වසයෙන් අති මහත් ය.
5967. මෙයින් මතු සියක්දහස් වන කපෙහි ඔක්කාක කුලයෙහි උපදින්නා වූ නමින් ගෞතම නම් වූ ශාස්තෘ තෙම ලොව පහළ වන්නේ ය.
5968. උන්වහන්සේගේ ධර්මයෙහි දායාද වූ ධර්මයෙන් නිර්මිත කළාක් වැනි වූ ඖරස පුත්ර වූ රාධ යන නමින් යුත් ශාස්තෘශ්රාවකයෙක් වන්නේ ය.
5969. තොපගේ හේතුසම්පත්තියෙහි හා ගුණයෙහි තුටු වූ ශාක්ය පුත්ර වූ නරශ්රේෂ්ඨ වූ ඒ බුදුරජතෙම පටිභාණෙය්යක භික්ෂූන් අතුරෙන් අග්රස්ථානයෙහි තබන්නේ ය”යි.
5970. එකල්හි එය අසා සතුටු වූයෙම් මෙත්සිත් ඇත්තෙම් සිහියෙන් යුක්ත වූයෙම් ප්රඥාවත් වූයෙම් දිවි ඇති තාක් බුදුරජුන්හට පරිවරණය කෙළෙමි.
5971. මැනැවින් කරණලද එම කර්මය හේතු කොට ගෙණ ද චිත්ත ප්රණිධීන් හේතු කොට ගෙණ ද මම මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට උත්පත්ති වශයෙන් ගියෙමි.