537. කොට්ඨිත ස්ථවිරාවදානය
5881. පසැස් ඇති සියලු ලෝකයන් (තත් වූ පරිදි) දැන ගත්තා වූ පස්මරුන් දිනූ පදුමුත්තර නම් බුදුරජ තෙමේ මෙයින් (පෙර) සියක් දහස්වන කපෙහි ලොව පහළ වී ය.
5882. සව් සත්නට ඔවා දෙන්නා වූ, දහම් පිළිවිදුවන්නා වූ, (සත්ත්‍වයන් සසරින්) එතෙර කරන්නා වූ, දේශනාවෙහි දක්‍ෂ වූ බුදුරජ තෙම බොහෝ ජනසමූහයා සසරින් එතෙර කරවී ය.
5883. සව්සත්නට අනුකම්පා කරන්නා වූ කාරුණික වූ වැඩ කැමැත්තා වූ (එ බුදුරජ තෙම) පැමිණි සියලු තීර්‍ත්‍ථකයන් පන්සිල්හි පිහිට වී ය.
5884. මෙසේ (ඒ කාලය) තීර්‍ත්‍ථකයන්ගෙන් හිස් වූ, නිරවුල් වූ, තාදීගුණ ඇති (පඤ්ච වශිතායෙන්) වශීභූත වූ රහතුන්ගෙන් විසිතුරු වූවක් විය.
5885. ඒ බුදුරජතෙම අටපණස්රියනක් උස ය. රන්ඇගෑයක් වැන්න. දෙතිස් මහපුරිස් ලකුණු ඇත්තේ ය.
5886. එකල්හි ලක්‍ෂයක් හවුරුද්දට ආයු වෙයි. එපමණ කල් වැඩහුන්නා වූ ඒ සර්‍වඥතෙම බොහෝ ජනසමූහයා සසරින් එතෙර කෙළේ ය.
5887. එකල්හි මම හංසවතී නගරයෙහි වේදයෙහි පරතෙරට ගිය බමුණෙක් වූයෙම් බුදුරජුන් වෙත එළඹ දම්දෙසුම් ඇසීමි.
5888. එකල්හි ඒ වීර වූ බුදුරජතෙමේ අර්‍ත්‍ථයෙහි ද ධර්‍මයෙහි ද නිරුක්තියෙහි ද ප්‍රතිභානයෙහි ද දක්‍ෂ වූ ප්‍රභේදගත ප්‍රතිසම්භිදාඥාන ඇති ශ්‍රාවකයකු-
5889. ඒතදග්‍රස්ථානයෙහි තැබී ය. එය අසා ප්‍රමුදිත වූ මම එකල්හි ශ්‍රාවකයන් සහිත උතුම් වූ බුදුරජුන් සතියක් වැළඳවීමි.
5890. මම බුද්ධිසාගර වූ බුදුරජුන් ශිෂ්‍යයන් සහිතව වස්ත්‍රයෙන් (-සිවුරින්) හඳවා පාමුලෙහි වැටී එම තනතුර පැතීමි.
5891. ඉක්බිති ලෝකාග්‍ර වූ බුදුරජ තෙම මෙසේ වදාළේ ය. “මාගේ පාමුල නැවුනා වූ පියුම්ගැබකට බඳු පැහැ ඇති මේ උතුම් බමුණා දෙස බලවු.
5892. මෙතෙම සිවුපිළිසැඹියාවන් දත් ශ්‍රේෂ්ඨ වූ භික්‍ෂුහුගේ තනතුර පතයි. (මොහු තුළ ඇති) එම ශ්‍රද්ධාවෙන් ද ත්‍යාගයෙන් ද, දහම් ඇසුමෙන් ද,
5893. සියලු තන්හි සුව ඇත්තේ ව කුදුමහත් භවයෙහි සැරිසරා මතුකාලයෙහි එම මනෝරථය ලබන්නේ ය.
5894. මෙයින් ලක්‍ෂයක් වන කපෙහි ඔක්කාක කුලයෙහි උපදින්නා වූ නමින් ගෞතම නම් වූ ශාස්තෘ තෙමේ ලොව පහළ වන්නේ ය.
5895. උන්වහන්සේගේ ධර්‍මයෙහි දායාද වූ, ධර්‍මයෙන් නිර්මිත කළාක් වැනි වූ, ඖරස පුත්‍ර වූ, නමින් කොට්ඨිත නම් වූ ශාස්තෘශ්‍රාවකයෙක් වන්නේ ය”.
5896. එකල්හි එය අසා සතුටු වූයෙම් දිවිහිමියෙන් මෙත් සිත් ඇත්තෙම් ස්මෘති ඇත්තෙම් ප්‍රඥාවෙන් යුක්ත වූයෙම් බුදුරජුනට (වතාවත් කිරීම් වශයෙන්) පරිචරණය කෙළෙමි.
5897. මම ඒ කර්‍මවිපාකය හේතුකොට ගෙණ ද චිත්තප්‍රණිධීන් හේතු කොට ගෙණ ද මිනිස්කය හැර තව්තිසාවට උත්පත්ති වශයෙන් ගියෙමි.
5898. මම තෙසියවරක් දිව්‍යරාජ්‍යය කරවීමි. පන්සියවරක් සක්විතිරජ වීමි.
5899. (ලබනලද) මහත් වූ ප්‍රදේශරාජ්‍යය ගණන් වශයෙන් ගිණිය නො හැකි ය. එම කර්‍මයාගේ බලයෙන් සියලු තන්හි සුඛිත වූයෙමි.
5900. දෙව් ඇත් බැව්හි ද මිනිස් අත් බැව්හි ද (යන) දෙඅත් බැව්හි සැරිසරමි. අනික් ගතියකට නො යමි. මේ රැස්කරනලද පුණ්‍යකර්‍මයාගේ විපාක යි.
5901. කැත්කුලයෙහි ද යලි බමුණුකුලයෙහි ද යන දෙකුලයෙහි උපදිමි. නීච කුලයෙහි නො උපදිමි. මේ රැස්කරනලද පුණ්‍යකර්‍මයාගේ විපාක යි.
5902. මම පශ්චිම භවය පැමිණි කල්හි බමුණෙක් වීමි. සැවැත් නුවර මහත් ධන ඇති බමුණු කුලයක උපන්මි.
5903. මාගේ මවු තොමෝ චන්‍ද්‍රවතී නම් වූවා ය. පියතෙම අස්සලායන නම් විය. යම් කලෙක්හි බුදුරජතෙම මාගේ පියා සර්‍වශුද්ධියෙහි හෙවත් රහත් බවට පැමිණවීමෙන් හික්මවී ද,
5904. එකල්හි බුදුරජුන් කෙරෙහි පහන් වූයෙම් අනගාර්‍ය්‍ය සඞ්ඛ්‍යාත පැවිද්දට පැමිණියෙමි. මෞද්ගල්‍යාන තෙමේ ආචාර්‍ය්‍ය විය. ශාරිප්‍රත්‍ර තෙමේ උපාධ්‍යාය විය.