536. බාහිය ස්ථවිරාවදානය
5839. මෙයින් සියක්දහස් වන කපෙහි මහත් ප්රභා ඇති, තිලොවට අග්ර වූ නමින් පදුමුත්තර නම් බුදුරජතෙම ලොව පහළ විය.
5840. (එකෙණෙහි දහම් අවබෝධ කළ බැවින්) ක්ෂිප්රාභිඥ වූ භික්ෂුනමකගේ ගුණය පසසන බුදුරජුන්ගේ (දේශනාව) අසා ඔද වැඩි සිත් ඇති මම මහර්ෂි වූ එ බුදුරජුන්හට අධිකාර කොට -
5841. එකල්හි මම සිසුන් සහිත බුදුරජුන්හට සතියක් මුළුල්ලෙහි දන් දී සම්බුදුරජුන් වැඳ එම තනතුර පැතීමි.
5842-5844. ඉක්බිති බුදුරජතෙම මට මෙසේ පැවසී ය: “මාගේ පාමුල වැටුනා වූ පහන් වූ ඇස් හා මුහුණු ඇති, පුනනූල් සහිත කය ඇති, සුදු සිරුරු සිවි පැහැ ඇති, එල්බෙන බිඹුපල වැනි රතු දෙතොල් ඇති, සුදු තියුණු සම දත් ඇති, ගුණෝඝයට ආයතන වූ ප්රීතියෙන් මැනැවින් පුබුදු වූ මුහුණු ඇති මෙ බමුණහු බලවු.
5845. මෙතෙම ක්ෂිප්රාභිඥ වූ භික්ෂූහුගේ එම තනතුර පතයි. අනාගතයෙහි මහාවීර වූ ගෞතම නම් බුදුරජතෙම ලොව පහළවන්නේ ය.
5846. උන්වහන්සේගේ ධර්මයට දායාද වූ ධර්මයෙන් නිර්මිත කළාක් වැනි වූ ඖරස පුත්ර වූ නමින් බාහිය නම් වූ ශාස්තෘශ්රාවකයෙක් වන්නේ ය.”
5847. එකල්හි ඉතා තුටුවූයෙම් නැගිට දිවි ඇති තාක් බුදුරජුන්හට සත්කාර කොට ඉන් ච්යුත වූයෙම් සිය ගෙට යන්නාක් මෙන් ස්වර්ගයට ගියෙමි.
5848. මම ඒ කර්මයාගේ බලයෙන් දෙවි වූයෙම් හෝ මිනිස් වූයෙම් හෝ සුඛිත වූයෙම් සැරිසරමින් සම්පත් අනුභව කෙළෙමි.
5849. යලි කාශ්යප බුදුරජානන් වහන්සේගේ සසුන පිරිහී යන කල්හි ගල මුදුනට නැගී බුදුසසුනෙහි යෙදී-
5850. පිරිසිදු සිල් ඇති ප්රඥායෙන් යුතු වූ බුදුසසුන් කරන්නා වූ අපි පස්දෙනෙක් එයින් ච්යුත වූවාහු දෙව්ලොවට උත්පත්තිවශයෙන් ගියෙමු.
5851. ඉක්බිති භාරුකච්ඡ නම් උතුම් නගරයෙහි උපන්නෙම් බාහිය නැමැත්තෙම් වීමි. එයින් නැව් නැගී අර්ත්ථ සිද්ධි රහිත (අර්ත්ථ සිද්ධි සංශය ඇති) සයුරට පිවිසියෙමි.
5852. ඉක්බිති කිහිප දිනක් ගොස් නැව බිඳුනේ ය. එකල්හි දැති මුවර (ආදී චණ්ඩ මත්ස්ය) යනට ආකර වූ ගොරබිරම් සයුරෙහි වැටුනෙමි.
5853. එකල්හි මම මහසයුර තරණය කොට වැර දරා (වෙහෙස හේතු කොට ගෙණ) මඳ වූ වැටහීම් නුවණ ඇත්තෙම් සුප්පාරක පටුනට පැමිණියෙමි.
5854. දාරුචීර (හෙවත් දරපතුරු වස්ත්රයක් මෙන් ගොතා) හැඳ ගමට පිඬු පිණිස ගියෙමි. එකල්හි ඒ ජනතෙමේ තුටු වූයේ මේ රහත් කෙනෙක් මෙහි පැමිණියහයි කී ය.