535. කුමාරකස්සප ස්ථවිරාවදානය
5811. මෙයින් ලක්‍ෂයක් වන කපෙහි සියලු ලොවට හිත වූ වීර වූ පදුමුත්තර නම් ලෝකනායක (-බුදුරජ) තෙමේ ලොව පහළ විය.
5812-5813. එකල්හි මම වේදයෙහි පරතෙරට ගිය බමුණෙක් ව ප්‍රකට වූයෙම් දිවාවිහරණය කරනෙම් සිවුසස් දෙසන්නා වූ දෙවියන් සහිත ලෝකයාට දහම් අවබෝධ කරවන්නා වූ මහජනයා ඉදිරියෙහි විචිත්‍ර කථිකයනට අගතැන්පත් සව්වකු වර්‍ණනය කරන්නා වූ ලෝකනායකයන් වහන්සේ දිටිමි.
5814-5815. එකල්හි ප්‍රමුදිත සිත් ඇති මම තථාගතයන් වහන්සේ පවරා නන්රුවනින් බබලන මඩුවක් නොයෙක් පැහැයෙන් රැඳු වතින් සරසා එහි සඞ්ඝයා සහිත බුදුරජුන් වැළඳවීමි. සතියක් මුළුල්ලෙහි නොයෙක් අගරස බොජුනෙන් වළඳවා-
5816. නන්වන් මලින් ශ්‍රාවකසඞ්ඝයා සහිත බුදුරජුන් පුදා පාමුල වැද හෙව මම එම තනතුර පැතීමි.
5817-5819. එකල්හි කරුණා රසයට එක ම නිධාන වූ බුදුරජතෙම (මෙසේ) වදාළේ ය: “පියුමකට බඳු මුහුණ හා ඇස් ඇත්තා වූ ප්‍රීතිප්‍රමෝද්‍ය බහුල වූ (එයින්) නැගුනු ලොම් ඇති, හර්‍ෂයෙන් දැල්වුනු විශාල ඇස් ඇති, මාගේ සසුනෙහි ඇලුම් ඇති, මාගේ පාමුල වැටුනා වූ, එක ම අරමුණට හැරුනු මනා සිත් ඇති මේ බමුණහු බලවු. මෙතෙම විචිත්‍රකථිකත්‍වය වූ ඒ මේ තනතුර පතයි.
5820. මෙයින් සියක්දහස් වන කපෙහි ඔක්කාක කුලයෙහි උපත ලබන ගෝත්‍රයෙන් ගෞතම නම් වූ ශාස්තෘ තෙමේ ලොව පහළ වන්නේ ය.
5821. උන්වහන්සේගේ ධර්‍මයෙහි දායාද වූ ධර්‍මයෙන් නිර්මිත කළාක් වැනි වූ ඖරසපුත්‍ර වූ කුමාරකස්සප නම් ශාස්තෘශ්‍රාවකයෙක් වන්නේ ය.
5822. (පුදනලද) විචිත්‍ර පුෂ්පවස්ත්‍රයන්ගේ ද, රත්නයන්ගේ ද බලයෙන් හෙතෙම විචිත්‍රකථික භික්‍ෂූන් අතුරෙන් අග්‍ර බවට පැමිණෙන්නේ ය” (කියායි).
5823. මම මැනැවින් කරණලද ඒ කර්‍මය හේතුකොට ගෙණ ද චිත්තප්‍රණිධීන් හේතු කොට ගෙණ ද මිනිස්සිරුර හැර තව්තිසාවට උත්පත්ති වශයෙන් ගියෙමි.
5824. රඟ මැද නළුවකු මෙන් භව නමැති අහසෙහි පරිභ්‍රමණය කරමින් ශාඛා නම් මුවාගේ පුත්‍ර ව මුවදෙනගේ කුස පිළිසිඳ ගතිමි.
5825. එසඳ මා කුස පිළිසිඳගත් කල්හි (මවගේ) මරණයට වාරය එළඹ සිටියේ ය. ශාඛාමුවා විසින් අත්හළ මාගේ මව්තොමෝ න්‍යග්‍රෝධ මුවරජු පිහිට කොට ගියා ය.
5826. එකල්හි ඒ න්‍යග්‍රෝධ මුවරජු විසින් ස්වකීය ප්‍රාණය පරිත්‍යාග කොට මරණයෙන් මුදා ලූ ඕ තොමෝ මට මෙසේ අවවාද කළා ය:
5827. “න්‍යග්‍රෝධ මුවරජු ම සේවනය කරව, ශාඛා මුවා සමග වාස නො කරව. න්‍යග්‍රෝධ කෙරෙහි වැස මිය යෑම ශාඛා වෙත වැටෙන ජීවිතයට වඩා උතුම් ය”.
5828. ඒ න්‍යග්‍රෝධ මුවරජ විසින් අනුශාසනය කරණලද මම ද, මව් ද එසේ ම සෙස්සෝ ද, දුරරටක සිටියකු සියගෙට එන්නාක් මෙන් රම්‍ය වූ තුෂිතදෙව්ලොව විසුමට ගියෝ වෙමු.
5829. යලි කාශ්‍යප බුදුරජුන්ගේ සසුන පිරිහී යන කල්හි ගලක් මුදුනට නැගී ජිනසාසනයෙහි ප්‍රතිපත්තීන් යෙදී-