534. දබ්බ ස්ථවිරාවදානය
5769. මෙයින් සියක් දහස්වන කපෙහි පසැස් ඇත්තා වූ සර්වලෝ දත්, පස්මරුන් දිනූ පදුමුත්තර නම් මුනීන්ද්රයන් වහන්සේ උපන් සේක.
5770. සව්සත්නට ඔවා දෙන්නා වූ දහම් අවබෝධ කරවන්නා වූ (ඔවුන් සසරින්) එතෙර කරන්නා වූ දේශනාවෙහි දක්ෂ වූ බුදුරජානන් වහන්සේ බොහෝ ජනසමූහයා (සසරින්) තැරැවූසේක.
5771. සව්සත්නට අනුකම්පා කරන්නා වූ කාරුණික වූ හිත කැමති (බුදුරජ) වෙත පැමිණි සියලු තීර්ත්ථකයන් පන්සිල්හි පිහිට වූ සේක.
5772. එකල මෙසේ තීර්ත්ථකයන්ගෙන් හිස් වූයේ නිරවුල් වූයේ (සස්න) තාදීගුණ ඇති වශීභූත වූ රහතුන්ගෙන් විසිතුරු වී ය.
5773. එමුනි රජ තෙමේ අටපනස්රියන් උස් වූයේ රන් ඇගෑයක් මෙන් බබලන්නේ ය. දෙතිස්මහපුරිස් ලකුණු ඇත්තේ ය.
5774. එකල්හි (සත්නට) වර්ෂලක්ෂයක් ආයු වෙයි. ඒතාක් වැඩහුන් ඒ සර්වඥතෙම බොහෝ ජනසමූහයා සසරින් එතර කෙළේ ය.
5775. එකල්හි මම හංසවතී නගරයෙහි මහත් යශස් ඇති සිටු පුත්රයෙක් වූයෙම් ලෝපහන් වූ බුදුරජුන් වෙත එළඹ දම්දෙසුම් ඇසීමි.
5776. භික්ෂූනට සෙනසුන් පනවන්නා වූ සිය සව්වකු පසසන උන්වහන්සේගේ වචනය අසා සතුටු වූ මම-
5777. සඞ්ඝයා සහිත වූ ඒ බුදුරජුන්හට (දන්දීම් ආදී) අධිකාර කොට (උන්වහන්සේගේ) පාමුල සිරසින් වැටී එම තනතුර පැතීමි.
5778. එකල්හි මහාවීර වූ බුදුරජතෙමේ මාගේ පුණ්යකර්මය පසසමින් මෙසේ කීය. “යමෙක් සඞ්ඝයා සහිත බුදුරජුන් සතියක් වැළඳ වී ද,
5779. (හෙළ) පියුම්පත් බඳු ඇස් ඇති, සීහාංස (සිංහයකුගේ මෙන් පිරුණු උරහිස්) ඇති, රන්වන් වූ සිවි ඇති ඒ මේ සිටුපුත්තෙම උතුම් තනතුරක් පතමින් මාගේ පාමුල වැටුනේ ද,
5780. මෙයින් සියක් දහස්වන කපින් මතුයෙහි ඔක්කාක කුලයෙහි උපදනා වූ නමින් ගෞතම නම් වූ බුදුරජතෙමේ ලොව පහළවන්නේ ය.
5781. එකල්හි මෙතෙම එම බුදුරජුන්ගේ දබ්බ නමින් ප්රසිද්ධ වූ, සෙනසුන් පනවන අගසව් වන්නේ ය” කියා යි.
5782. මැනවින් කරණලද ඒ කර්මයෙන් ද, චිත්තප්රණිධියෙන් ද මම මිනිස් සිරුර හැර තව්තිසාවට (උත්පත්තිවශයෙන්) ගියෙමි.
5783. මම තෙසිය වරක් දිව්යරාජ්යය කරවීමි. පන්සිය වරක් සක්විති රජ වීමි.
5784. (කරනලද) මහත් ප්රදේශරාජ්යය ගණනින් ගිණිය නොහේ. එම කර්මයාගේ බලයෙන් හැමතන්හි සුව ඇත්තෙම් වීමි.
5785. මෙයින් යට එක් අනූවන කපෙහි, මනෝඥ ඇස් ඇති සියලු ධර්මයන් මැනැවින් දක්නා වූ විපස්සී නම් බුදුරජතෙම ලොව පහළවිය.
5786. තාදීගුණ ඇති ඒ බුදුරජුන්ගේ සියලු ආස්රවයන් ක්ෂය කළ ශ්රාවකයකුට ‘ශුද්ධයෙකැ’යි දැන ම දුෂ්ටසිත් ඇත්තෙම් නින්දා කෙළෙමි.
5787. මම නරවීර වූ එම බුදුරජුන්ගේ ම මහර්ෂී (-රහත්) සව්වනට සලාකයක් ගෙණ කිරිබතක් දුනිමි.
5788. මේ භද්රකල්පයෙහි බ්රහ්මබන්ධු (බ්රාහ්මණ කුලයෙහි) වූ මහත් යශස් ඇති වාදීන් අතුරෙන් ශ්රේෂ්ඨ වූ නමින් කාශ්යප නම් වූ බුදුරජතෙමේ ලොව පහළ විය.
5789. ශ්රාවකයන් සහිත වූ උන්වහන්සේ මිසදිටුතීර්ත්ථකයන් මැඩ සසුන බබුළුවා වෛනෙය (-හික්මවියයුතු) ජනයන් හික්මවා පිරිනිවන් පෑ සේක.
5790. බුදුරජහු ද ශිෂ්යයන් ද පිරිනිවී පසු සසුන අස්තයට (පිරිහීමට) යන කල්හි සංවේගයට පත් දෙවියෝ මුදා ලූ කෙස් ඇත්තාහු, වලප්නා මුහුණු ඇත්තාහු හැඬූහ: