529. ආමණ්ඩඵලදායක ස්ථවිරාවදානය
5611. සියලු දහම්හි තෙරපත් පස්මරුන් දිනූ ලෝකනායක වූ පදුමුත්තර බුදුරජානන් වහන්සේ සමාධියෙන් නැගී සක්මන් කළ සේක.
5612. එකල්හි (මම) පිරිකරකද ගෙණ ඵල (නෙලා) ගෙණ එන්නෙම් කෙලෙස්රජස් විරහිත මහාමුනි වූ සක්මණෙහි යෙදෙන්නා වූ බුදුරජුන් දුටිමි.
5613. පහන්සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් හිසෙහි ඇඳිලි බැඳ සම්බුදුරජුන් වැඳ ආමණ්ඩ ඵලයක් දුනිමි.
5614. මෙයින් සියක් දහස්වන කපෙහි වූ එකල්හි යම් ඵලදානයක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමී. ආමණ්ඩ ඵලදනෙහි මේ විපාක යි.
5615. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
5616. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
5617. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙසෙයින් ආයුෂ්මත් ආමණ්ඩඵලදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
ආමණ්ඩඵලදායක ස්ථවිරාවදානය නව වැනියි.
530. සුගන්‍ධථේරාපදානය
5617-5618. මෙම භද්‍රකල්පයෙහි බ්‍රාහ්මණවංශයෙහි වූ මහත් යශස් ඇති අපි බුදුවරුම්හයි කියන්නවුන් අතුරෙන් ශ්‍රේෂ්ඨ වූ (අසූවක්) අනුව්‍යඤ්ජනයන්ගෙන් යුක්ත වූ දෙතිස්මහ පුරිස් ලකුණු ඇති බ්‍යාමප්‍රභා (බඹයක් පමණ ඈතට විහිදෙන) ආලෝකයෙන් පරිවෘත වූ රැස් සමූහයෙන් ගැවසී ගත් ගෝත්‍රයෙන් කාශ්‍යප නම් බුදුරජ තෙමේ ලොව පහළ විය.
5619. (බුදුරජ තෙම) සඳු මෙන් අස්වස් කරන්නෙක. හිරු මෙන් ප්‍රභා කරන්නෙක. වැහිවලාවක් මෙන් (කෙලෙස් ගිම්) නිවන් නෙක. සයුර මෙන් ගුණ (මැණික්) ආකරයක.
5620. සීලයෙන් මහපොළොව මෙනි. සමාධියෙන් හිමව් පව්ව මෙනි. ප්‍රඥාවෙන් අහස මෙනි. සුළඟ මෙන් නො ඇලෙන්නේ වේ.
5621. පිරිස් හමුවෙහි විශාරද වූ ඒ මහාවීර වූ බුදුරජහු කිසියම් දිනෙක මහාජනයා (සසරසයුරින්) ගොඩලමින් (සිවූ) සස් දෙසූ සේක.
5622. එකල්හි මම බරණැස්නුවර සමෘද්ධ වූ ධනධාන්‍යයනට ප්‍රභූ වූ මහත් යශස් ඇති සිටුපුතෙක් වීමි.
5623-5624. මම ජඞ්ඝා විහරණය කරන්නෙම් මිගදාය නම් වූ මුවන් වසන වනයට එළඹ අමාපදය (-නිර්‍වාණධර්‍මය) දෙසන්නා වූ කෙලෙස් රජස් විරහිත වූ විහිද යන මනෝඥ වචන ඇති කුරවි කෙවිල් හඬට බඳු හඬ ඇති හ සධ්වනීයට බඳු ධ්වනි ඇති මහාජනයාට දහම් අවබෝධ කරවන්නා වූ බුදුරජුන් දුටිමි.
5625. දේවාතිදේව වූ ඒ බුදුරජුන් දැක මිහිරිවචන ද අසා අපමණ වූ භෝගසම්පත් හැර දමා අනගාර්‍ය්‍ය සඞ්ඛ්‍යාත පැවිද්දට පැමිණියෙමි.
5626. මෙසේ පැවිදි වූ මම නොබෝ කලකින් ම බහුශ්‍රුත වූ ධර්‍ම කථික වූ විසිතුරු ප්‍රතිභා ඇත්තෙක් වීමි.
5627. මම මහපිරිස් මැදෙහි සතුටු සිත් ඇත්තෙම් ගුණවැණීමෙහි විශාරද වූයෙම් ස්වර්‍ණවර්‍ණ වූ බුදුරජුන්ගේ ගුණ නැවත නැවත වර්‍ණනා කෙළෙමි.
5628. තෙල බුදුරජානන් වහන්සේ ක්‍ෂය කළ ආස්‍රවයන් ඇති සේක. උවදුරු රහිතසේක. දුරුකළ සැක ඇතිසේක. සියලු කර්‍මයන්ගේ ක්‍ෂයට පත්වූ සේක. උපධිසඞ්ඛ්‍යාත පඤ්චස්කන්‍ධයෙහි වූ දුකින් මිදුනු සේක.
5629. මේ ඒ භාග්‍යවත් වූ බුදුරජ තෙමේ ය. මේ අනුත්තර වූ පුරුෂසිංය තෙමේ ය. දෙවියන් සහිත ලෝකයාට බ්‍රහ්මචක්‍රය පවත්වන්නා වෙයි.