53. තිණදායක වර්‍ගය
521. තිණමුට්ඨිදායක ස්ථවිරාවදානය
5538. හිමවතට නුදුරෙහි ලම්බක නම් පර්‍වතයක් විය. එහි එලිමහන්හි උපතිස්ස නම් සම්බුදුරජහු සක්මන් කළසේක.
5539. මම පෙර මහාවෙනෙහි මුව වැද්දෙක් වීමි. මම ඒ දේවාතිදේව වූ (පසේබුදුරජුන්) දැක තණමිටක් දුනිමි.
5540. එය බුදුරජුන් හට හිඳීම සඳහා දී සිත පැහැදවීමි. සම්බුදුරජුන් වැඳ උතුරුදිගට මුහුණ ලා ගියෙමි.
5541. ගිය නො බෝ වේලාවකින් ම සිංහයෙක් තෙම මා පෙළීය. සිංහයා විසින් හෙළන ලදුයෙම් මම එහි කලුරිය කෙළෙම් වෙමි.
5542. මරණාසන්න කල්හි මා විසින් ආස්‍රව රහිත බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ විෂයෙහි ඒ කර්‍මය කරණ ලදී. මම (දුන්නෙන්) මිදුණ හීවේගයක් සෙයින් දෙව්ලොවට (උත්පත්තිවශයෙන්) ගියෙමි.
5543. පුණ්‍යකර්‍මය හේතු කොට ගෙණ එහි නිර්මිත වූ විමානය ශුභ එකක් විය. දහසක් බෙදුම් ඇත්තේ ය. සියක් ගෝලාකාර මුදුන් ඇත්තේ ය. ධජයන්ගෙන් යුක්තය. පලා වන් ය.
5544. උදා වූ හිරු සෙයින් ඒ ප්‍රාසාදයාගේ පැහැ විහිදේ. මම දිව්‍යකන්‍යාවන් විසින් පිරිවරනලද්දෙම් කම් සැප කැමැත්තෙම් සතුටු විමි.
5545. කුශලමූලයෙන් මෙහෙයන ලදුයෙම් දෙව්ලොවින් ච්‍යුතව මිනිසත් බවට පත්ව ආස්‍රවක්‍ෂයට (-රහත්බවට) පැමිණියෙම් වෙමි.
5546. මෙයින් සිවුඅනූවන කපෙහි මම නිසීදනයක් (-අතුරා හිඳීමට තණමිටක්) දුනිමි. (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. තණමිටක් දීමෙහි මේ විපාක යි.
5547. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
5548. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
5549. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ට විමෝක්‍ෂයෝ ද ෂඩ්භිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙසෙයින් ආයුෂ්මත් තිණමුට්ඨිදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
තිණමුට්ඨිදායක ස්ථවිරාවදානය පළමුවැනියි.
522. මඤ්චදායක ස්ථවිරාවදානය
5550. ලෝකජ්‍යේෂ්ඨ වූ තාදීගුණ ඇති විපස්සී බුදුරජුන්හට මා විසින් පහන්සිතින් යුතුව සියතින් ම එක් ඇඳක් දෙන ලදී.
5551. එම මඤ්චදානය හේතුකොට ගෙණ හස්තියාන, අශ්වයාන, දිව්‍යයානයන් ලබමි. ආස්‍රවක්‍ෂයට පැමිණියෙම් වෙමි.
5552. මෙයින් එක්අනූවන කපෙහි මම යම් මඤ්චදානයක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. මඤ්චදානයාගේ මේ විපාක යි.
5553. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
5554. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
5555. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩ්භිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙසෙයින් ආයුෂ්මත් මඤ්චදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
මඤ්චදායක ස්ථවිරාවදානය දෙවැනියි.
523. සරණගමනිය ස්ථවිරාවදානය
5556. එකල්හි ආජීවකයෙක් වූ මම ද භික්‍ෂුනමක් ද නැවකට නැගුනෙමු. නැව බිඳෙන කල්හි භික්‍ෂුනම මට සරණ දුන්නේ ය.
5557. එකල්හි මෙයින් එක්තිස්වන කපෙහි ඒ භික්‍ෂුතෙම මට යම් සරණයක් දුන්නේ ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. සරණගමනයෙහි මේ ඵලයයි.
5558. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
5559. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
5560. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩ්භිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙසෙයින් ආයුෂ්මත් සරණගමනිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
සරණගමනිය ස්ථවිරාවදානය තෙවැනියි.