524. අබභඤ්ජනදායක ස්ථවිරාවදානය
5561. මම බන්‍ධුමතී නගරයෙහි රජඋයන්හි වසමි. එකල්හි මම නම් හඳිත කමඬලා දරණ තවුසෙක් වීමි.
5562. සියල්ල තෙමේ ම දත්තා වූ අපරාජිත (පස්මරුන් පැරද වූ) ප්‍රධන් වීර්‍ය්‍යයෙහි මෙහෙයූ සිත් ඇති ධ්‍යාන කරන්නා වූ ධ්‍යානයෙහි ඇලුනා වූ (පඤ්ච ධ්‍යාන) වසිතාවන්ගෙන් යුක්ත වූ නිර්‍මල වූ බුදුරජුන් දුටිමි.
5563. සියලු අභිමතාර්‍ත්‍ථයන් සමෘද්ධ කළා වූ චතුරෝඝයන් තරණය කළා වූ ආස්‍රව රහිත වූ (බුදුරජුන්) දැක මම පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් ඇඟගල්වන තෙලක් දුනිමි.
5564. එකල්හි මෙයින් එක්අනූවන කපෙහි යම් අබ්භඤ්ජනයක් දුනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. අබ්භඤ්ජනදානයාගේ මේ විපාක යි.
5565. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
5566. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
5567. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙසෙයින් ආයුෂ්මත් අබ්භඤ්ජනදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
අබ්භඤ්ජනදායකස්ථවිරාවදානය සිවුවැනියි.
525. සුපටදායක ස්ථවිරාවදානය
5568. විපස්සී බුදුරජ තෙමේ දිවාවිහරණයෙන් නික්මුනේ ය. (මම) උන්වහන්සේ (දැක) සැහැල්ලු වූ මනා වස්ත්‍රයක් දී කල්පයක් ස්වර්‍ගයෙහි සතුටු වීමි.
5569. මම මෙයින් එක් අනූවන කපෙහි මනා වස්ත්‍රයක් දුනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. මනා වස්ත්‍රදානයාගේ මේ විපාක යි.
5570. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
5571. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
5572. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩ්භිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙසෙයින් ආයුෂ්මත් සුපටදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
සුපටදායක ස්ථවිරාවදානය පස්වැනියි.
526. දණ්ඩදායක ස්ථවිරාවදානය
5573. මම එකල්හි මහවනයට පිවිස හුණ (ගසක්) කපා එල්බෙන දණ්ඩක් (සැරයටියක්) කොට මම සඞ්ඝයාට දුනිමි.
5574. එම චිත්තප්‍රසාදය හේතු කොට ගෙණ මනා ව්‍රත ඇති සඞ්ඝයාට වැඳ ආලම්බනදණ්ඩ (=සැරයටිය) දී උත්තරදිශාභිමුඛව ගියෙමි.
5575. එකල්හි මෙයින් සිවු අනූවන කපෙහි යම් ආලම්බන දණ්ඩක් දුනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. සැරයටි දනෙහි මේ විපාක යි.
5576. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිත ව වෙසෙමි.
5577. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
5578. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩ්භිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙසෙයින් ආයුෂ්මත් දණ්ඩදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
දණ්ඩදායක ස්ථවිරාවදානය සවැනියි.
527. ගිරිනෙලපූජක ස්ථවිරාවදානය
5579. මම පෙර වනයෙහි හැසිරෙන්නා වූ වැද්දෙක් වීමි. සියලු දහම්හි කෙළ පැමිණි (කෙළෙස්) රජස් විරහිත බුදුරජුන් දිටිමි.
5580. සව්සතුන්හට හිත කිරීමෙහි ඇලුනු මහාකාරුණික වූ උන්වහන්සේ කෙරෙහි පහන්සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් ගිරිනිල් මලක් පිදීමි.
5581. මෙයින් එක්තිස්වන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.