519. සබ්බඵලදායක ස්ථවිරාවදානය
5505. එකල්හි (මම) මන්ත්රයන්හි කෙළ පැමිණි නමින් වරුණ නම් වූ බ්රාහ්මණයෙක් වීමි. පුත්රයන් දසදෙනකු හැර දමා වනයට පිවිසියෙමි.
5506. මම මනා බෙදුම් ඇති අසපුවක් සාදා පන්සැලක් ද කොට වනයෙහි වෙසෙමි.
5507. ලෝකයාගේ පූජාවන්ට යෝග්ය වූ ඒ පදුමුත්තර බුදුරජ තෙම මා සසරින් ගොඩලනු කැමැත්තේ මාගේ අසපුවට පැමිණියේ ය.
5508. බුදුරජානන් වහන්සේගේ අනුභාවයෙන් මුළු වන ලැහැබෙහි මහත් වූ ආලොකයෙක් වී. එකල්හි වනය ඇවිලගත්තාක් බඳු විය.
5509. මම තාදීගුණ ඇති බුද්ධශ්රේෂ්ඨයන් වහන්සේගේ ඒ පෙළහර දැක කොළගොටුවක් ගෙණ ඵලයෙන් පිරවීමි.
5510. මම බුදුරජුන් වෙත එළඹ කොළගොටුව සහිතව ම දුනිමි. බුදුරජතෙම මට අනුකම්පාවෙන් මේ වචනය වදාළේ ය:
5511. “තෝ ඛාරිහාරිය හෙවත් පලගොටුව රැගෙන මා පස්සෙන් එව. සඞ්ඝයා එය වැළඳු කල්හි තොපට පින් (සිදු) වන්නේ ය.” (කියායි).
5512. මම ඒ (පල) ගොටුව ගෙණ භික්ෂුසඞ්ඝයාට දුනිමි. එහි මම සිත පහදවා තුසිතදිව්යලෝකයෙහි උපනිමි.
5513. එම දිව්යලෝකයෙහි දිව්යමය වූ නෘත්යයෙන් වාද්යයෙන් ගීතයෙන් කුශලකර්මය සමග යෙදුනු සුවය හැම කල්හි විඳිමි.
5514. දිව්ය වූ ද යලි මනුෂ්ය වූ ද යම් යම් යෝනියක උපදිම් නම් මාගේ භෝගයෙහි අඩුබවෙක් නැත. ඵලදානයාගේ මේ විපාක යි.
5515. මම බුදුරජුන්හට ඵල (දානය) දී සමුද්ර සහිත වූ පර්වත සහිත වූ සිවුමහදිවයින් යම් පමණ නම් (එ පමණ තන්හි) මාගේ ආධිපත්යය කරමි.
5516. මේ පක්ෂිසමූහයෝ යම්තාක් අහස් නැගයෙත් ද, ඔහු ද මාගේ වශයට පැමිණෙත්. ඵලදානයාගේ මේ විපාක යී.
5517. වනසණ්ඩයෙහි යම්තාක් යක්ෂයෝ ද භූතයෝ ද රාක්ෂසයෝ ද කුම්භාණ්ඩයෝ ද ගුරුළෝ ද වෙත් නම් ඔහු මාගේ පාරිචරියාවට (=මෙහෙවරට) පැමිණෙත්.
5518. ඉදිබුවෝ ද බල්ලෝ ද මීමැස්සෝ ද ඩැහැ ලේ බොන මැස්සන් හා මදුරුවන් හා දෙවග දැයි ඔහු මා වශයට පැමිණෙත්. ඵලදානයාගේ මේ විපාක යි.
5519. පක්ෂියෝනියෙහි උපන් මහත් බල ඇති සුපර්ණ නම් වූ ගුරුළු පක්ෂීහු වෙත් නම් ඔහු ද මා සරණ කොට යෙත්. ඵලදානයාගේ මේ විපාක යි.
5520. දීර්ඝායුෂ්ක වූ ඍද්ධිමත් වූ මහත් යශස් ඇති යම් නාගයෝ වෙත් නම් ඔහු ද මාගේ වශයට එත්. ඵලදානයාගේ මේ විපාක යි.
5521. සිංහ ව්යාඝ්ර දිවි වලස් වෘක කරබානා වලස් යන ඔහු ද මාගේ වශයට එත්. ඵලදානයාගේ මේ විපාක යි.
5522. ඔෂධි තෘණ (වෘක්ෂාදියෙහි) වාසය කරන්නා වූ ද අහසෙහි වාසය කරන්නා වූ ද යම් දෙවියෝ වෙත් නම් ඒ සියල්ලෝ මා සරණකොට යෙත්. ඵලදානයාගේ මේ විපාක යි.
5523. දර්ශනයට අතිශයින් දුෂ්කර වූ ඉතා සියුම් වූ ගැඹුරු වූ මැනැවින් පවසනලද (නිවණ) පසක් කොට වෙසෙමි. ඵලදානයාගේ මේ විපාක යි.
5524. මම අෂ්ටවිමෝක්ෂයන් ලබා ආස්රව රහිත වූයෙම් ප්රඥා ඇත්තෙම් වෙසෙමි. ඵලදානයාගේ මේ විපාක යි.
5525. මහත් යශස් ඇති ක්ෂය කරණ ලද දොස් ඇති ඵලස්ථ වූ යම් බුද්ධපුත්රකෙනෙක් වෙත් නම් ඔවුනතුරෙන් මම ද එක්තරා කෙනෙක් වෙමි. ඵලදානයාගේ මේ විපාක යි.
5526. කුශලමූලයෙන් මෙහෙයන ලදුයෙම් අභිඥාවන්හි කෙළ පැමිණ සියලු ආස්රවයන් (ප්රහාණපරිඥාවශයෙන්) දැන ආස්රව රහිතව වෙසෙමි.
5527. ත්රිවිද්යා ඇත්තා වූ ද ඍද්ධිප්රාත්ප වූ ද මහත් යශස් ඇත්තා වූ ද දිවකන් ලද්දා වූ ද යම් බුද්ධපුත්රකෙනෙක් වෙත් නම් මම ද ඔවුනතුරෙන් එක්තරා කෙනෙක් වෙමි.
5528. එකල්හි මෙයින් සියක් දහස්වන කපෙහි යම් ඵලදානයක් දුනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාක යි.
5529. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජෙකු මෙන් බැඳුම් සිඳ ආස්රව රහිතව වෙසෙමි.