511. කුරඤ්ජියඵලදායක ස්ථවිරාවදානය
5457. මම පෙර වනයෙහි හැසිරෙන්නා වූ මුව වැද්දෙක් වීමි. සියලු දහම්හි කෙළ පත් කෙලෙස් රජස් විරහිත බුදුරජුන් දිටිමි.
5458. මම කුරඤ්ජිය ඵලයක් ගෙණ වීර වූ පුණ්‍යක්‍ෂේත්‍ර වූ බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේට පහන් වූයෙම් සියතින් දුනිමි.
5459. එකල්හි මෙයින් එක්තිස්වන කපෙහි යම් ඵලදානයක් දුනිම් ද, (ඒ හේතුවෙන්) මම දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාක යි.
5460. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
5461. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
5462. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙසෙයින් ආයුෂ්මත් කුරඤ්ජියඵලදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
කුරඤ්ජියඵලදායක ස්ථවිරාවදානය පළමුවැනියි.
512. කපිත්‍ථඵලදායක ස්ථවිරාවදානය
5463. ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ ස්වර්‍ණවර්‍ණ වූ වීථියට පිළිපන්නා වූ සම්බුදුරජුන් දැක ගිවුලූපලක් දුනිමි.
5464. එකල්හි මෙයින් එක්අනූවනකපෙහි යම් (ගිවුළු) පලයක් දුනිම් ද, ඒ හේතුවෙන් දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාක යි.
5465. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
5466. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
5467. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙසෙයින් ආයුෂ්මත් කපිත්‍ථඵලදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
කපිත්‍ථඵලදායක ස්ථවිරාවදානය දෙවැනියි.
513. කෝසුම්භඵලදායක ස්ථවිරාවදානය
5468. කුඹුක් රුකක් මෙන් බබලන දේවාතිදේව වූ නරශ්‍රේෂ්ඨ වූ වීථියට පිළිපන් බුදුරජුන්හට කොසුම්භඵලයක් දුනිමි.
5469. එකල්හි මෙයින් එක්අනූවන කපෙහි යම් ඵලදානයක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාක යි.
5470. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.