506. මාතුලුඞ්ගඵලදායක ස්ථවිරාවදානය
5425. පණුරැසි දිනයෙහි සඳු මෙන් බබලන්නා වූ කිණිහිරි රුකක් වැනි වූ ප්‍රදීපවෘක්‍ෂයක් මෙන් දිලෙන ලෝකනායක වූ බුදුරජුන් දිටිමි.
5426. මම නාරන් ගෙඩියක් ගෙණ දක්‍ෂිණාර්‍හ වූ ප්‍රාඥ වූ ශාස්තෲන් වහන්සේට පහන් වූයෙම් සියතින් දුනිමි.
5427. එකල්හි මෙයින් එක්තිස්වන කපෙහි යම් ඵලදානයක් දුනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාක යි.
5428. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
5429. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
5430. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙසෙයින් ආයුෂ්මත් මාතුලුඞ්ගඵලදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
මාතුලුඞ්ගඵලදායක ස්ථවිරාවදානය සවැනියි.
507. අජෙලිඵලදායක ස්ථවිරාවදානය
5431. එකල්හි චරණධර්‍මයන්ගෙන් සම්පූර්‍ණ වූ සමාධියෙහි දක්‍ෂ වූ මෝනෙය්‍යගුණ යුත් අජ්ජුන නම් සම්බුදු (පසේබුදු) රජ තෙමේ හිමවතෙහි වැඩ විසී ය.
5432. මම ඒ ශාස්තෲන් වහන්සේ හට කළයක් පමණ වූ අජෙලි ඵලයක් ද ජීවජීවක ද ඡත්‍රපර්‍ණ ද ගෙන දුනිමි.
5433. එකල්හි මෙයින් සිවුඅනූවන කපෙහි යම් ඵලදානයක් දුනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාක යි.
5434. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජෙකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
5435. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
5436. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙසෙයින් ආයුෂ්මත් අජෙලිඵලදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
අජෙලිඵලදායක ස්ථවිරාවදානය සත් වැනියි.
508. අමෝදඵලිය ස්ථවිරාවදානය
5437. ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ ස්වර්‍ණවර්‍ණ වූ වීථියට පිළිපන්නා වූ සම්බුදුරජුන් (දැක) අමෝද ඵලයක් දුනිමි.
5438. එකල්හි මෙයින් එක්අනූවන කපෙහි යම් ඵලදානයක් දුනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාක යි.