499. නළකුටිදායක ස්ථවිරාවදානය
5341. හිමවතට නුදුරෙහි හාරිත නම් පර්‍වතයෙක් විය. එකල්හි සියල්ල තෙමේ ම දත් නාරද බුදුරජ තෙම රුක්මුලක වැඩ විසී ය.
5342. මම නළකුටියක් කොට තණපතින් සෙවෙනි කෙළෙමි. මම සක්මණ ද පිරිසිදු කරවා බුදුරජුන්හට දුනිමි.
5343. මැනැවින් කරණ ලද එ කර්‍මය හේතු කොට ගෙණ ද චිත්තප්‍රණිධීන් හේතු කොට ගෙණ ද මම මිනිස්සිරුර හැරපියා තව්තිසා දෙව්ලොවට ගියෙමි.
5344. එහි (දෙව්ලොව) මැනැවින් කරණ ලද නළකිළියෙන් නිර්මිත වූ මාගේ විමානය සැට යොදුනක් උස ය. තිස් යොදුනක් පුළුල් ය.
5345. මම තුදුස් කපක් දෙව්ලොව සිත් අලවා විසීමි. එක්සැත්තෑ වරක් දිව්‍යරාජ්‍යය කරවීමි.
5346. මම සූතිස්වරක් සක්විතිරජ වීමි. (ලැබූ) මහත් ප්‍රදේශරාජ්‍යය ගණන් වශයෙන් ගිණිය නො හැකි ය.
5347. මම සියලු ආකාරයෙන් උතුම් උපමා ඇති ධර්‍මනැමැති ප්‍රාසාදයට නැගී ශාක්‍යපුත්‍ර වූ බුදුරජුන්ගේ සසුනෙහි රුචිසේ වෙසෙමි.
5348. එකල්හි මෙයින් එක්තිස්වන කපෙහි යම් කර්‍මයක් කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. නළකුටියෙහි මේ විපාක යි.
5349. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
5350. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
5351. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙසෙයින් ආයුෂ්මත් නළකුටිදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
නළකුටිදායක ස්ථවිරාවදානය නවවැනියි.
500. පියාලඵලදායක ස්ථවිරාවදානය
5352. පෙර මම මුවවැද්දෙක් වීමි. එකල්හි වනයෙහි හැසිරෙන්නෙම් සියලු ධර්‍මයන්ගේ පරතෙරට ගිය කෙලෙස්රජස් විරහිත බුදුරජුන් දිටිමි.
5353. මම පියල් ගෙඩියක් ගෙණ පහන් වූයෙම් සියතින් ම පින්කෙත් වූ වීර වූ බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේට දුනිමි.
5354. එකල්හි මෙයින් එක්තිස්වන කපෙහි යම් පියාල ඵලයක් දුනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාකයි.
5355. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
5356. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
5357. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙසෙයින් ආයුෂ්මත් පියාලඵලදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේකි.
පියාලඵලදායක ස්ථවිරාවදානය දසවැනියි.
තිකිඞ්කණිපුප්ඵිය වර්‍ගය පණස් වැනියි.