496. ඝතමණ්ඩදායක ස්ථවිරාවදානය
5289. මනා සිතුම් ඇති ලෝකජ්යේෂ්ඨ වූ නරශ්රේෂ්ඨ වූ භාග්යවතුන් වහන්සේ වාතාබාධයකින් පීඩිතව මහවෙනෙහි වැඩහුන්නාහු දැක සිත පහදවා පිරිසිදු ගිතෙල් සුඟක් පිළිගැන් වීමි.
5290. (මෙම පුණ්යකර්මය) කළ බැවින් ද ආයුහිත බැවින් ද මේ භාගීරථී ගඟ ද සිවුමහසමුදුර ද මට ගිතෙල් සපයති.
5291. අප්රමාණ වූ අසඞ්ඛ්ය වූ මේ මහත් පෘථිවිය ද මාගේ අදහස දැන මී සකුරු (බවට පත්) වේ.
5292. සිවුමහ දිවයිනට අයත් මේ වෘක්ෂසමූහයෝ ද මාගේ අදහස දැන කල්පවෘක්ෂයෝ වෙති.
5293. පණස්වරක් දේවේන්ද්රව දිව්යරාජ්යය කෙළෙමි. මම එක්පණස් වරක් සක්විති රජ වීමි. (ලබන ලද) මහත් වූ ප්රදේශරාජ්යය ගණන් වශයෙන් ගිණිය නො හැකි ය.
5294. මෙයින් සානූවන කපෙහි වූ එකල්හි යම් (ගිතෙල්) දනක් දුනිම් ද (ඒ හේතුවෙන් ) දුගතියක් නො දනිමි. පිරිසිදු ගිතෙල් දනෙහි මේ විපාක යි.
5295. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්රවරහිතව වෙසෙමි.
5296. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්රිවිද්යාවෝ අනුප්රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
5297. සිවුපිළිසැඹියාවෝ ද, අෂ්ටවිමෝක්ෂයෝ ද, ෂඩභිඥාවෝ ද, සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙසෙයින් ආයුෂ්මත් ඝතමණ්ඩදායකස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
ඝතමණ්ඩදායක ස්ථවිරාවදානය සවැනියි.
497. උදකදායක ස්ථවිරාවදානය
5298. පදුමුත්තර බුදුරජුන්ගේ අනුත්තර වූ භික්ෂුසඞ්ඝයා කෙරෙහි පහන්සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් පැන්කළයක් පිදීමි.
5299. පර්වත මුදුනෙහි වේවයි ගස් මුදුනෙහි වේවයි අහසෙහි වේවයි පොළොවෙහි වේවයි යම් කලෙක පැන් කැමති වෙම් නම් වහා මට (එය) පහළ වේ.
5300. එකල්හි මෙයින් සියක්දහස් වන කපෙහි යම් (පැන්) දනක් දුනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පැන් දීමෙහි මේ විපාක යි.
5301. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්රවරහිත ව වෙසෙමි.
5302. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ස්වාගත විය. ත්රිවිද්යාවෝ අනුප්රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
5303. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙසෙයින් ආයුෂ්මත් උදකදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
උදකදායක ස්ථවිරාවදානය සත්වැනියි.
498. පුලිනථූපිය ස්ථවිරාවදානය
5304. හිමවතට නුදුරෙහි යමක නම් පර්වතයෙක් විය. (එහි) මාගේ අසපුව මැනැවින් කරණ ලද්දකි. පන්සැල ද මොනොවට නිර්මිත ය.
5305. මම නමින් නාරද නම් වූ උග්ර තපස් ඇති ජටිලයෙක් වෙමි. තුදුස්දහසක් ශිෂ්යයෝ මා පිරිවරත්.