497. උදකදායක ස්ථවිරාවදානය
5298. පදුමුත්තර බුදුරජුන්ගේ අනුත්තර වූ භික්ෂුසඞ්ඝයා කෙරෙහි පහන්සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් පැන්කළයක් පිදීමි.
5299. පර්වත මුදුනෙහි වේවයි ගස් මුදුනෙහි වේවයි අහසෙහි වේවයි පොළොවෙහි වේවයි යම් කලෙක පැන් කැමති වෙම් නම් වහා මට (එය) පහළ වේ.
5300. එකල්හි මෙයින් සියක්දහස් වන කපෙහි යම් (පැන්) දනක් දුනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පැන් දීමෙහි මේ විපාක යි.
5301. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්රවරහිත ව වෙසෙමි.
5302. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ස්වාගත විය. ත්රිවිද්යාවෝ අනුප්රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
5303. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙසෙයින් ආයුෂ්මත් උදකදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
උදකදායක ස්ථවිරාවදානය සත්වැනියි.
498. පුලිනථූපිය ස්ථවිරාවදානය
5304. හිමවතට නුදුරෙහි යමක නම් පර්වතයෙක් විය. (එහි) මාගේ අසපුව මැනැවින් කරණ ලද්දකි. පන්සැල ද මොනොවට නිර්මිත ය.
5305. මම නමින් නාරද නම් වූ උග්ර තපස් ඇති ජටිලයෙක් වෙමි. තුදුස්දහසක් ශිෂ්යයෝ මා පිරිවරත්.
5306. මම එකල්හි විවේකීව හුන්නෙම් මෙසේ සිතීමි. සියලු ජන තෙමේ මා පුදයි. මම කිසිවකු නො පුදමි.
5307. මට ඔවා දෙන්නෙක් නැත. කරුණු නො කරුණු කියන්නෙක් නැත. මම ආචාර්ය්ය - උපාධ්යාය විරහිතව වනවාසයට පැමිණෙමි.
5308. මම යමෙකු උපාසනා (ඇසුරු) කරන්නෙම්. ගුරුසිත උපදවන්නෙම් ද මට එබඳු ගුරුවරයෙක් නැත. වනයෙහි විසීම නිරර්ත්ථක ය.
5309. (මම) මවිසින් පූජ්ය වූ එසේ ම ගරුභාවනීය වූ උතුමකු සොයන්නෙමි. (එබඳු උතුමකු) ඇසුරු කරන්නෙක්ව වසනෙමි. කිසිවෙක් මට නො ගරහන්නේ ය.
5310. නො ගැඹුරු ඉවුරු ඇති මනා කොට ඇති සුදෝසුදු වැලිතලාවෙන් ගැවසීගත් කුඩා ගඟක් මාගේ අසපුවට නුදුරෙහි විය.
5311. එකල්හි මම අමරිකා නම් වූ එ නදියට එළඹ වැලි එකතුකොට පුලිනචෛත්යයක් (වැලිසෑයක්) කෙළෙමි.
5312. භවය කෙළවර කරන්නා වූ යම් ඒ සම්බුදු මුනිවරු වූහු නම් මෙබඳු වු සෑය උන්වහන්සේ උදෙසා ය. මෙය මම උන්වහන්සේ අරමුණු කොට කරමි.
5313. වැලි සෑයක් කොට මම (ඉදුහයෙන්) රන් නිපදවීමි. (එයින් සෑදූ) රන් කිකිණිමල් තුන් දහසක් පූජා කෙළෙමි.
5314. හටගත් ප්රීති ඇත්තෙම් බඳැඳිලි ඇත්තෙම් උදය සවස නමදිමි. සම්බුදුන් හමූයෙහිදී මෙන් පුලින චෛත්යය වැන්දෙමි.
5315. යම් කලෙක්හි කාමනිඃශ්රිත වූ විතර්කයෝ හටගනිත් ද, එකෙණෙහි සර්වඥස්තූපය සිහි කරමි. (මෙසේ ද) ප්රත්යවේක්ෂා කරමි:
5316. “නිදුකාණෙනි, සාර්ත්ථවාහක වූ විනායක වූ බුදුරදුන් (සිතින්) ඇසුරු කොට වසනේ කෙලෙස් සමග වසනෙහි නම් ඔබට (එය) නුසුදුසුය.“
5317. එකල්හි සෑය සිහිකළ කෙණෙහි මාගේ සිත්හි බුද්ධ ගෞරවය ඇති වේ. තොත්රයෙන් (කණමුල හනින යවුලෙන්) පෙළන ලද ඇතකු මෙන් මිත්ථ්යා විතර්කයන් දුරු කෙරෙමි.
5318. මෙසේ වසන මා මෘත්යුරාජයා මැඩලීය. මම එහි කලුරිය කළෙම් බඹලොව ගියෙමි.
5319. එහි දිවි ඇති තාක් වසා මම තව්තිසා දෙව්ලොවහි උපන්මි. අසූවරක් දේවේන්ද්රව දිව්යරාජ්ය කෙළෙමි.
5320. මම තෙසියක් වර සක්විති රජ වීමි. මහත් ප්රදේශරාජ්යය ගණනින් ගිණිය නො හැකිය.