492. පංසුකූලපූජක ස්ථවිරාවදානය
5256. හිමවතට නුදුරෙහි උදයඞ්ගණ නම් පර්වතයෙක් වීය. එහි ගස්මුදුනක එල්වන ලද පංසුකූල චීවරය දිටිමි.
5257. එකල්හි මම කිඞ්කණි මල් තුණක් නෙලා ගෙණ සතුටු වූයෙම් සතුටු සිතින් ම ඒ පාංශුකූල චීවරය පිදීමි.
5258. මැනැවින් කරණ ලද එම කර්මය හේතු කොට ගෙණ ද චිත්තප්රණිධීන් හේතු කොට ගෙණ ද මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) ගියෙමි.
5259. මෙයින් එක් අනූවන කපෙහි එකල යම් කර්මයක් කෙළෙම් ද, අර්හත්ධ්වජය පුදා (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි.
5260. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්රවරහිතව වෙසෙමි.
5261. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් ස්වාගත විය. ත්රිවිද්යාවෝ අනුප්රාප්තය හ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
5262. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙසෙයින් ආයුෂ්මත් පංසුකුලකපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
පංසුකුලකපූජකස්ථවිරාවදානය දෙවැනියි.
493. කොරණ්ඩපුප්ඵිය ස්ථිවිරාවදානය
5263. පෙර මම පියමුතුන් පරපුරෙන් වනයෙහි දඩයම් කරණුයෙකිම් වීමි. සිවුපා සතුන් මැරීමෙන් ජීවත් වෙමි. මට කුශලයෙක් නැත.
5264. මාගේ අසපුව අබියෙස පසැස් ඇති ලෝකාග්රනායක වූ තිස්ස බුදුරජ තෙමේ අනුකම්පායෙන් පියවරතුනක් දැක්වී ය.
5265. තිස්ස බුදුරජුන් දැක් වූ පියසටහන් දැක සතුටු වූයෙම් සතුටු සිතින් පියවර සටහනෙහි සිත පැහැද වීමි.
5266. පිපී කරඬු ගසක් දැක කොපු සහිත මල් ගෙණ ශ්රේෂ්ඨ ශ්රීපාදලාඤ්ජනය පිදීමි.
5267. මම මැනැවින් කරණ ලද එම කර්මය හේතු කොට ගෙණ ද, චිත්තප්රණිධීන් හේතු කොට ගෙණ ද මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට උත්පත්ති වශයෙන් ගියෙමි.
5268. මම දිව්ය වූ හෝ මනුෂ්ය වූ හෝ යම් යම් යෝනියක උපදිම් ද ප්රභා සහිත වූ කොරණ්ඩපුෂ්පවර්ණ වූ සිවි ඇත්තෙම් වෙමි.
5269. මෙයින් දෙයානූවනකපෙහි එකල යම් කර්මයක් කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පාසටහන් පිදීමෙහි මේ විපාක යි.
5270. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්රවරහිතව වෙසෙමි.