48. චඞ්ක්‍රමදායක ස්ථවිරාවදානය
1207. මම ලෝකජ්‍යේෂ්ඨ වූ තාදීගුණ ඇති අත්‍ථදස්සී බුදුරජානන් වහන්සේට ගඩොළින් බැඳ සක්මනක් කරවීමි.
1208. එය මැනැවින් කරණ ලද්දකි. උසින් පස්රියනකි. දිගින් රියන් සියයකි. සිහි කට යුත්තකි. මනෝඥ ය.
1209. නරශ්‍රේෂ්ඨ වූ අත්‍ථදස්සී භාග්‍යවත් තෙමේ ඒ සක්මන පිළිගත්තේ ය. අතින් (එයින්) වැලි (ටිකක්) ගෙන මේ ගාථාවන් වදාළේ ය:
1210. මේ වැලි දීමේ හේතුවෙන් ද, සක්මන මැනැවින් කළ හේතුවෙන් ද සත්රුවනින් යුත් වැලි (පරිභෝගයට) ලබන්නේ ය.
1211. තුන්කපක් මුළුල්ලෙහි දෙවියන් අතර දිව්‍යරාජ්‍යය කරන්නේ ය. දිව්‍යාප්සරාවන් විසින් පිරිවරණ ලදුයේ (දිව්‍ය) සම්පත් අනුභව කරන්නේ ය.
1212. මිනිස්ලොවට පැමිණි රටෙහි රජ වන්නේ ය. හෙතෙමේ තෙවරක් පෘථිවියෙහි සක්විතිරජ වන්නේ ය” (කියායි).
1213. එක්දහස්අටසියවන කල්පයෙහි වූ එකල්හි (මම) යම් කර්‍මයක් කෙළෙම් ද ඒ හේතුවෙන් දුගතියක් නො දනිමි. චඞ්ක්‍රමදානයාගේ මේ විපාකය යි.
1214. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් චඞ්ක්‍රමදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.
චඞ්ක්‍රමදායකස්ථවිරාවදානය අටවැනි යි.
49. සුභද්‍ර ස්ථවිරාවදානය
1215. පූජාවන් පිළිගන්නා වූ මහා පිරිවර ඇති පදුමුත්තර බුදුරජානන් වහන්සේ ජනසමූහයා සසරින් ගොඩ නගා පිරිනිවන් පානාසේක.
1216. ඒ බුදුරජානන් වහන්සේ පිරිනිවන් පානා කල්හි දසදහසක් ලෝධා කම්පිත වී ය. (රැස් වූ) ජනසමූහයා ද මහත් වී ය. එකල්හි දෙවියෝ ද රැස් වූහ.
1217. සතුටු වූයෙම් සතුටු සිතින් තුවරලා හා බෝලිද්ද මලින් යුත් සඳුන් පුදා නරෝත්තමයන් වහන්සේට සඳුනින් අලෙවු දනිමි.
1218. ලෝකයෙහි නිරුත්තර ශාස්තෘ වූ සම්බුදුරජ තෙමේ (පරිනිර්‍වාණ මඤ්චකයෙහි) හොත්තේ ම මාගේ අදහස් දැන මේ ගාථාවන් වදාළේ ය:
1219. “යමෙක් මාගේ අන්තිම කාලයෙහි මා ගඳින් මලින් පිදී ද, ඔහු ප්‍රකට කරන්නෙමි. එසේ කියන්නා වූ මාගේ වචනය අසවු.
1220. මේ පුරුෂතෙමේ මෙයින් චුත ව තුෂිත දෙව්ලොවට යන්නේ ය. හෙතෙමේ එහි රාජ්‍යය කොට නිර්‍මාණරති දෙව්ලොවට යන්නේ ය.
1221.මේ ක්‍රමයෙන් ම උතුම් මල් පුදා ස්වකීය කර්‍මයෙන් තුටු වූයේ සම්පත් අනුභව කරන්නේ ය.
1222. මේ මිනිස් තෙමේ නැවත ද තුෂිතදෙව්ලොව උපදින්නේ ය. ඒ අත්බැවින් ච්‍යුත ව මිනිසත් බවට පැමිණෙන්නේ ය.
1223. ශාක්‍යපුත්‍ර වූ මහොත්තම වූ දෙවියන් සහිත ලෝකයෙහි අග්‍රපුද්ගල වූ පසැස් ඇති ගෞතම බුදුරජතෙමේ බොහෝ සත්ත්‍වයන්ට ධර්‍මාවබෝධය කරවා පිරිනිවන් පානේ ය.