5. උපාලි වර්ගය
41. භාගිනෙය්ය උපාලි ස්ථවිරාවදානය
1116. දහසක් රහතුන් විසින් පිරිවරණ ලද ඒ ලෝකනායක වූ බුදුරජානන් වහන්සේ විවේකයෙහි යෙදුනුසේක් එකලා ව වසන්නට යන සේක.
1117. (එකල්හි) ත්රිදණ්ඩය දරන්නා වූ අඳුන්දිවිසම් හැන්දා වූ මම ලෝකනායකයන් (=තථාගතයන්) වහන්සේ දිටිමි.
1118. අඳුන්දිවිසම එකස් කොට හිසෙහි ඇඳිලි බැඳ බුදුරජානන් වහන්සේ වැඳ ලෝකනායකයන් වහන්සේට ස්තුති කෙළෙමි:
1119-1120. “යම් බඳු අණ්ඩජ වූ සංසේදජ වූ, ඕපපාතික වූ, ජලාබුජ වූ සත්ත්වයෝ ද, හැමකල්හි අහසෙහි හැසිරෙන සියලු කාකාදිපක්ෂීහු ද යන සංඥී වූ හෝ අසංඥී වූ යම් කිසි ප්රාණභූතකෙනෙක් වෙත් නම්, ඒ සියල්ලෝ ඔබ වහන්සේගේ නුවණෙහි ඇතුළත් වෙත්.
1121. උතුම් වූ හිමවත්පව්වෙහි පර්වතයන්හි හටගන්නා (මලයජ) සඳුන් (ආදී) යම් ගන්ධයෝ වෙත් නම්, ඒ සියලු සුගන්ධයෝ ඔබ වහන්සේගේ සීල (සුගන්ධ) යෙහි කලාවකට ද නො යෙදෙත්. (= සම නො වෙත්).
1122. මේ දෙවියන් සහිත ලෝකයා මොහඳුරට වැදුනේ වෙයි. ඔබ වහන්සේගේ ඤාණය බබලන කල්හි (ඔහු) වනසන ලද (මෝහ) අඳුර ඇත්තෝ වෙත්.
1123. යම් සේ සූර්ය්යයා අස්තගත වූ කල්හි සත්ත්වයෝ අඳුරට ගියාහු වෙත් ද, එසේ ම බුදුරජානන් වහන්සේ නූපන් කල්හි ලෝකයා අඳුරට ගියේ වේ.
1124. යම් සේ උදා වන්නා වූ සූර්ය්යයා හැම කල්හි අඳුරු දුරු කෙරේ ද, එසේ ම බුද්ධශ්රේෂ්ඨයන් වහන්ස, ඔබ වහන්සේ හැම කල්හි අඳුර නසනසේක.
1125. දෙවියන් සහිත ලෝකයෙහි සර්වඥ වූ ඔබ වහන්සේ වීර්ය්යයෙහි මෙහෙයූ සිත් ඇති සේක. (එසේ ම) ඔබ වහන්සේ ප්රීතිජනක වූ කර්මයෙන් බොහෝ ජනසමූහයා සතුටු කරණසේක” (කියායි).
1126. මහාමුනි වූ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ඒ සියල්ල අනුමෙව (= සියල්ලට සතුටු ව) අහසෙහි (යන) හංසරාජයකු මෙන් ආකාශයට පැනනැගුනු සේක.
1127. අහසට පැනනැගී ශාස්තෘ වූ මහර්ෂි වූ පදුමුත්තර බුදුරජ තෙමේ අහසෙහි සිටියේ මේ ගාථාවන් වදාළේ ය:
1128. “යමකු විසින් උපමාවන්ගෙන් යුක්ත සේ මාගේ මේ නුවණ පසසන ලද ද, මම ඔහු (කවරෙක් දැ යි) කියන්නෙමි. (එසේ) කියන්නා වූ මාගේ වචනය අසවු.
1129. හෙතෙමේ අටළොස්වරක් ශක්රදිව්යරාජයා වන්නේ ය. තුන්සිය වරක් පෘථිවිරාජ්යය කරමින් පොළොවෙහි වාසය කරන්නේ ය.
1130. පස්විසිවරක් සක්විතිරජ වන්නේ ය. (ලබන ලද) මහත් වූ ප්රදේශරාජ්යය ගණන් වශයෙන් ගිණිය නො හැකි ය.
1131. මෙයින් කල්පලක්ෂයකින් මතුයෙහි ඔක්කාක කුලයෙහි උපදින්නා වූ ගෝත්රනාමයෙන් ගෞතම නම් වූ ශාස්තෘ තෙමේ ලොව පහළ වන්නේ ය.
1132. (එකල) කුශල මූලයෙන් මෙහෙයන ලදුයේ තුෂිත දිව්යලෝකයෙන් චුත ව ජාතියෙන් හීන වූයේ උපාලි නම් වන්නේ ය.
1133. හෙතෙමේ පසු ව පැවිදි ව පව් දුරු කර සියලු ආස්රවයන් ප්රහාණපරිඥාවශයෙන් දැන (දුරු කොට) ආස්රව රහිත වූයේ පිරිනිවන් පාන්නේ ය.
1134. මහායශස් ඇති ශාක්ය පුත්ර වූ ඒ ගෞතමබුදුරජ තෙමේ සතුටු වූයේ විනය පිටකය අවබෝධ කළ ඔහු ඒතදග්රස්ථානයෙහි තබන්නේ ය.”
1135. මම ශ්රද්ධාවෙන් පැවිදි වූයෙම් කොට නිමවන ලද කටයුතු ඇත්තෙම් ආස්රව රහිත වූයෙම් සියලු ආස්රවයන් ප්රහාණපරිඥා වශයෙන් දැන (දුරු කොට) ආස්රව රහිත ව වෙසෙමි.
1136. භාග්යවත් තෙමේ මට අනුකම්පා කෙළේ ය. මම විනයයෙහි විශාරද වෙමි. ස්වකීය කුශලකර්මයෙන් පිණා ගියෙම් ආස්රව රහිත ව වෙසෙමි.
1137. ප්රාතිමෝක්ෂ(ශීල)යෙහි ද පසිඳුරන් විෂයෙහි ද මැනැවින් සංවෘත වූයෙම් හුදු මැණික් ආකාරයක් වැනි සියලු විනය (ධර්මය) දරමි.
1138. ලෝකයෙහි නිරුත්තර වූ ශාස්තෘ තෙමේ මාගේ ගුණ දැන භික්ෂුසඞ්ඝයා මද මා (විනයප්රශ්නයන්හි තියුණු නුවණ ඇත්තවුන් අතුරෙහි) ඒතදග්රස්ථානයෙහි තැබී ය.
1139. ප්රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් (භාගිනෙය්ය) උපාලි ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.
භාගිනෙය්ය උපාලිස්ථවිරාවදානය පළමුවැනි යි.
42. සෝණකෝටිකණ්ණ ස්ථවිරාවදානය
1140. මම තාදිගුණ ඇති ලෝකජ්යේෂ්ඨ වූ අනෝමදස්සී බුදුරජාණන් වහන්සේට සුණින් ආලේප කොට සක්මනක් කරවීමි.
1141. මම නානාවර්ණ පුෂ්පයන්ගෙන් සක්මන අතුරා වැසීමි. අහසෙහි වියනක් ද කොට (බඳවා) උතුම් වූ බුදුරජාණන් වහන්සේ වැළඳවීමි.