43. කාළිගෝධාපුත්රභද්දිය ස්ථවිරාවදානය
1168. සියලු ලෝකයෙහි අසහාය නායක වූ මෙත් සිත් ඇති මහා මුනි වූ පදුමුත්තර බුදුරදුන් වෙත සියලු ජනසමූහයා එළඹෙයි.
1169. සියල්ලෝ නිරුත්තර වූ පුණ්යක්ෂේත්රයෙහි (භික්ෂුසංඝයාට ද ශාස්තෲන් වහන්සේට ද) වස්ත්ර සෙනසුන් ද පාන හා භෝජන ද (යන) ආමිසය දෙත්.
1170. මම ද බුදුරජානන් වහන්සේ ද අනුත්තර වූ සංඝයා ද පවරා, දෙවියන්ට දෙවි වු තාදීගුණ ඇති බුදුරජානන් වහන්සේ ට දනක් දෙමි.
1171. මා විසින් මෙහෙයන ලද්දා වූ ඒ මනුෂ්යයෝ ද තථාගතයන් වහන්සේ ද නිරුත්තරපුණ්යක්ෂේත්රය වූ සියලු භික්ෂුසංඝයා ද පැවරූහ.
1172. කොඳුපලස් අතුරණ ලද්දා වූ ද, පුලුන්ඇතිරි හා ඝන පුප් එළුලොම්ඇතිරි අතුරණ ලද්දා වූ ද, කොමුඇතිරියෙන් හා කපුඇතිරියෙන් අතුරණ ලද්දා වූ ද, ස්වර්ණමය වූ (පාදයන්හි ව්යාලරූප නගා කළ) සියක් දහසක් අගනා මහාර්හ වූ බුදුන්ට යෝග්ය අසුනක් පැණවීමි.
1173. දෙවියන්ට ද දෙවි වූ නරශ්රේෂ්ඨ වූ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ භික්ෂුසඞ්ඝයා විසින් පිරිවරණ ලද සේක් මාගේ ගෙදොරට එළඹි සේක.
1174. ලෝකනාථ වූ යශස් ඇති සම්බුදුරජාණන් වහන්සේට පෙරගමන් කොට පහන් සිත් ඇත්තෙම් සතුටු ව ස්වකීය ගෘහය (තුළට) වැඩම කරවීමි.
1175. පහන් සිත් ඇත්තෙම් සොම්නස් සහිත වූයෙම් භික්ෂූන් සියක් දහස ද ලෝකනායක වූ බුදුරජුන් ද කිරිබතින් සන්තර්පණය කෙළෙමි.
1176. පූජාවන් පිළිගන්නා වූ නොහොත් පූජාවන්ට ගෙයක් බඳු වූ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ භික්ෂුසංඝයා මැද හිඳ මේ ගාථාවන් වදාළ සේක:
1177. “යමකු විසින් කොඳුපලස් අතුරණ ලද ස්වර්ණමය වූ මේ අසුන දෙන ලද ද, ඔහු (කවරෙක් දැ යි) මම කියන්නෙමි. (එසේ) කියන්නා වූ මාගේ (වචනය) අසවු:
1178. හෙතෙමේ සූසැත්තෑවරක් දිව්යරාජ්යය කරන්නේ ය. දිව්යාප්සරාවන් විසින් පිරිවරණලදුයේ (දිව්ය) සම්පත් අනුභව කරන්නේ ය.
1179. දහස්වරක් ප්රදේශරාජ්යය කරමින් පොළොවෙහි වසන්නේ ය. එක්පණස්වරක් සක්විතිරජ ද වන්නේ ය.
1180. සියලු භවයෝනීන්හි උසස් කුල ඇත්තේ වන්නේ ය. කුශල මූලයන් විසින් මෙහෙයන ලද හෙතෙමේ පසු ව පැවිදි ව නමින් භද්දිය නම් වූ බුද්ධශ්රාවකයෙක් වන්නේ ය” (කියායි).
1181. මම විවේකයෙහි යෙදුනෙම් වෙමි. අරණෙහි දුරසෙනසුන්හි වසන්නෙම් වෙමි. (මා විසින්) සියලු (ශ්රාමණ්ය) ඵල ද ලබන ලදී. අද මම හරණා ලද ක්ලේශ ඇත්තෙම් වෙමි.
1182. ලොකානායක වූ සර්වඥතෙමේ මා පිළිබඳ සියල්ල දැන භික්ෂුසංඝයා මැද හිඳ මා ඒතදග්රස්ථානයෙහි තැබී ය.
1183. ප්රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කාළිගෝධාපුත්රභද්දිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යී.
කාළිගෝධාපුත්රභද්දිය ස්ථවිරාවදානය තෙවැනි යි.