50. චුන්ද ස්ථවිරාවදානය
1239. ලෝකජ්යේෂ්ඨ වූ තාදීගුණ ඇති සිද්ධත්ථ බුදුරජානන් වහන්සේට රන්ඇගෑයක් කරවා දෑසමන්මලින් වැසීමි.
1240. ඒ මල් (වසා) නිමවා බුදුරජානන් වහන්සේට පිළිගැන්වීමි. ඉතිරි මල් දෝතින් ගෙණ බුදුරජානන් වහන්සේ මත්තෙහි විසුරුවා හළෙමි.
1241. පහන්සිතින් යුත් සොම්නස් වූ (මම) රන්ඇගෑයක් සේ බබලන බුදුරජුන්ට මල්ඇගෑය පිළිගැන්වීමි.
1242. තරණය කළ සැක ඇති බුදුරජානන් වහන්සේ තරණය කළ ඕඝ ඇත්තවුන් (=රහතුන්) විසින් පිරිවරණ ලදසේක් මේ ගාථාවන් වදාළසේක:
1243. “යමෙක් මට දිවසුවඳ හමන මල්ඇගෑයක් දුන්නේ ද, ඔහු මම ප්රකට කරන්නෙමි. එය කියන්නා වූ මාගේ වචනය අසවු.
1244. මේ පුරුෂතෙමේ මෙයින් ච්යුත වූයේ දිව්යසමූහයා විසින් පිරිවරණ ලදුයේ සමන් මලින් ගැවසී ගත්තේ දෙව්ලොවට යන්නේ ය.
1245. ඔහුට පුණ්යකර්මයෙන් හටගත්තා වූ ස්වර්ණමය වූ ද මණිමය වූ ද පැනනැගුනු සඳලු සහිත විමානයක් පහළ වන්නේ ය.
1246. හෙතෙම සූසැත්තෑවරක් දෙව්රජය කරන්නේ ය. අප්සරාවන් විසින් පිරිවැරුණේ සම්පත් අනුභව කරන්නේ ය.
1247. තෙසියවරක් පෘථිවිරාජ්යය ලැබ පොළොවෙහි වාසය කරන්නේ ය. පන්සැත්තෑවරක් සක්විතිරජ වන්නේ ය.
1248. නමින් දුජ්ජය නම් රජෙක් වන්නේ ය. ස්වකීය කර්මය ඇසුරු කෙළේ ඒ පින් පල විඳ,
1249-1250. දුගතියකට නො ගොස් මිනිසත්බවට යන්නේ ය. ඔහුගේ නොඅඩු කෙළසියක් රන් නිදන්ගත වෙයි. හෙතෙම බමුණු කුලයෙහි උපදින්නේ ය. වඞ්ගන්ත බ්රාහ්මණයාගේ ද සාරී නම් බැමිණියගේ ද ප්රාඥ වූ ප්රිය වූ ඹෟරසපුත්රයෙක් වන්නේ ය.
1251. හෙ ද පසු ව සම්බුදුසසුනෙහි පැවිදි ද නමින් චූලචුන්ද නම් වූ බුද්ධශ්රාවකයෙක් වන්නේ ය.
1252. හෙ තෙම සාමණේර වූයේ ම රහත් වන්නේ ය. සියලු ආස්රවයන් ප්රහාණ පරිඥා වශයෙන් දැන (දුරු කොට) ආස්රව රහිත වැ පිරිනිවන් පානේ ය” කියා යි.
1253. උත්තමාර්ත්ථයට (රහත්බවට) පැමිණීම පිණිස මහාවීර වූ බුදුරජානන් වහන්සේට ද අනිත් ප්රියශීල වූ බොහෝ සඞ්ඝයාට ද උපස්ථාන කෙළෙමි. මාගේ සොහොයුරු (ශාරීපුත්රයන්) හට උවැටන් ද කෙළෙමි.
1254. මාගේ සොහොයුරාට උවැටන් කොට (උන්වහන්සේ පිරිනිවි කල්හි) ධාතූන් පාත්රයෙහි බහා ගෙණ ලෝකජ්යේෂ්ඨ වූ නරශ්රේෂ්ඨ වූ බුදුරජානන් වහන්සේට පිළිගැන්වීමි.
1255. දෙවියන් සහිත ලෝකයෙහි සර්වඥ වූ (බුදුරජ තෙම) ධාතු දොහොතින් නගාගෙන දක්වන්නේ ඒ අගසව්වානන් පැසැසී ය.
1256. මාගේ සිත කෙලෙසුන්ගෙන් මැනැවින් මිදුනේ ය. මාගේ ශ්රද්ධාව මැනැවින් පිහිටියේ ය. සියලු ආස්රවයන් ප්රහාණ පරිඥා වශයෙන් දැන (දුරු කොට) ආස්රව රහිත ච වෙසෙමි.
1257. සිවුපිළිසැඹියා ලැබින. විමෝක්ෂයෝ පහස්නා ලදහ. ෂඩ්භිඥාවෝ මා විසින් සාක්ෂාත්කෘතයහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් චුන්දස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේකි.
චුන්ද ස්ථවිරාවදානය දසවැනි යි.
උද්දානය:
උපාලිසෝණ බද්දිය - සන්නිට්ටාපක හත්තිය,
සියන් සෙය සක්මන් - සුබද සුඳු යයි දසවත්,
එක්සියසුසාළිස් ගයකින් මෙහි කියන ලදී.
සියන් සෙය සක්මන් - සුබද සුඳු යයි දසවත්,
එක්සියසුසාළිස් ගයකින් මෙහි කියන ලදී.
උපාලිවර්ගය පස්වැනි යි.
6. බීජනි වර්ගය
51. විධූපනදායක ස්ථවිරාවදානය
1258. තාදිගුණ ඇති ලෝකජ්යේෂ්ඨ වූ ද්විපදෝත්තම වූ පදුමුත්තර බුදුරජානන් වහන්සේ ට මා විසින් විදුනාවක් දෙන ලදි.
1259. සිය සිත පහදවා ඇඳිලි බැඳ සම්බුදුන් වැඳ උතුරු දිගට මුහුණ ලා ගියෙමි.
1260. ලෝකයෙහි අසහාය ශාස්තෘ වූ බුදුරජානන් වහන්සේ භික්ෂු සඞ්ඝයා මැද හිඳ විදුනාව ගෙන මේ ගාථාව වදාළසේක:
1261. “මේ වීජනී දානය හේතු කොට ගෙන ද චිත්තප්රණිධීන් හේතු කොට ගෙන ද කල්පලක්ෂයක් මුළුල්ලෙහි දුගතියකට නො යයි” යනු යි.
1262. පිරිපුන් වීර්ය්යය ඇති (නිවණ) කෙරෙහි මෙහෙයන ලද සිත් ඇති සමාධිගුණයෙන් යුත් උත්පත්තියෙන් සත්හැවිරිදි වූ මම රහත්බවට පැමිණියෙමි.
1263. සැටදහසක් කපින් මතුයෙහි විජමාන යන සමාන නම් ඇති මහා බලවත් සක්විතිරජවරු සොළොස්දෙනෙක් වූහ.
1264. පිළිසැඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් විධූපනදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේකි.
විධූපනදායක ස්ථවිරාවදානය පළමුවැනි යි.